සිරාජ් හසීම්
උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පිහිටුවා ගැනීමට සූදානම් වන නව දේශපාලන පක්ෂයට නුසුදුසු පුද්ගලයින් සම්බන්ධ කර නොගනිමින් ප්‍රතිපත්තිගරුක දේශපාලන ගමනක් යෑමට සූදානම් නම් තම පක්ෂයද ඔහු හා එක්වීමට සූදානම් බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ ප්‍රතිපත්ති සමගින් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවත් ඔවුනගේ එම ප්‍රතිපත්ති දෙමළ දේශයටම ශාපයක් වී තිබෙන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව පිහිටුවාගැනීමට සූදානම් වන නව දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොන්නම්බලම් මහතා මේ අදහස් පළකර සිටියේය.
ඔහු මෙසේද කීය.
‘විග්නේෂ්වරන් මහත්තයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙලා අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවාගන්න යනවා කියල දැනගන්නට ලැබුණා. එම තොරතුර සත්‍යක් නම් ඔහුගේ එම තීරණය දෙමළ ජාතික ජනතා පෙරමුණ අගය කරනවා. විග්නේෂ්වරන් කියන්නේ දෙමළ ජාතික සන්ධානය යටතේ පත්වූ මහ ඇමතිවරයෙකු මෙන්ම එම සන්ධානයේ නියෝජිතයෙක්.
විග්නේෂ්වරන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය හා එහි ප්‍රතිපත්ති සමගින් වැඩ කරන්න බැහැ කියල ඔහු විසින් කරන ලද ප්‍රකාශ වලින්ම පැහැදිලි වෙනවා. දෙමළ ජාතික සන්ධනෙයේ ප්‍රතිපත්ති දෙමළ ජනතාවගේ බලාපොරොත්තුවලට තර්ජනයක් බව ඔහු නිරන්තරයෙන්ම අවධාරණය කරපු කරුණක්.එය අපිත් කියනවා. ‘