(විනිතා එම්. ගමගේ)
ආණමඩුවේ දී ගුරුවරියක් දණ ගැස්වූ දේශපාලකයා මූල්යවංචා හෝ පොදු දේපල කොල්ල කෑ අයෙක් නොවන නිසා ඔහුට ආසන සංවිධායක ධුරය පිරිනැමු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය.
බුදු හාමුදුරුවෝත් අංගුලිමාලට හැදෙන්න අවස්ථාව දුන්නා. යම් සිදුවීමක් සිදුවී ඇතත් පක්ෂය කළේ ඔහුට හැදෙන්නට අවස්ථාවක් දීමයි යැයි ද දිසානායක මහතා කීය.
‘‘ඔහු කළ වරදට අධිකරණයෙන් දඩුවම් දුන්නා. අපි ඔහුට හැදෙන්නට අවස්ථාවක් දුන්නා. ප්‍රදේශයේ ජනතාව ඉදිරියේ දී ඔහු පිළිගන්නවා ද ප්‍රතික්ෂේප කරනවා ද යන්න අපි ඉදිරියේ දී බලමු‘‘ යැයි ද අමාත්‍යවරයා කීය.
‘‘නමුත් ඉදිරි මැතිවරණයේ දී මුදල් වංචා කර ඇති හෝ ජනතා දේපල වංචා කළ කිසිවෙකුට කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. අපේ අරමුණ පිරිසිදු පළාත් පාලන ආයතන ඇති කිරීමයි‘‘ යැයි ද ඔහු පැවැසීය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ ශ්‍රීලනිප මුලස්ථානයේ අද (7) පැවැති මාධ්‍ය හමුවකදීය.