‘ජනපති ෆොන්සේකාව දාලා ගියා‘


(විනීතා එම් ගමගේ)

සරත් ෆොන්සේකා මහතාට ඇමරිකාවේ යෑමට වීසා නොලැබුණ  කතාව අමූලික බොරුවක් බවත් සිදුව ඇත්තේ ජනාධිපතිවරයා දූත පිරිසෙන් ඔහුව ඉවත් කිරීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කරයි.

රණවිරුවන්ට අපහාස කිරීමටත් තමන්ගේ නම්බුව බේරා ගැනීමටත් ෆොන්සේකා මහතා අසත්‍ය වපුරමින් සිටින බව ද හෙතෙම පවසයි. 

ගම්මන්පිල මහතා මේ බව පැවසූවේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම ප‍්‍රධාන කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  
“එක්සත් ජාතින්ගේ මූලස්ථානය ඇමෙරිකාවේ පිහිටු වීමේ එක් ප‍්‍රබල කොන්දේසියක් තමයි සියළුම සාමාජික රටවල නියෝජිතයින්ට එක්සත් ජාතින්ගේ සැසි වාරයන්ට සහභාගි වීමට කොන්දේසි විරහිතව වීසා නිකුත් කිරීම. එක්සත් ජාතින්ගේ වීසා ඇමෙරිකානු වීසා වලින් වෙනස්. ඒ වීසා වලින් සංචාරය කළ හැක්කේ නිව්යෝර්ක් නගරයේ පමණයි.
මේ කොන්දේසියට ගරු කරලා මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ යුද අපරාධ පිලිබඳ බරපතල චෝදනා එල්ල වුණු පොල් පොට්, සුන් යත් සෙන්, සදාම් හුසේන් වැනි අයටත් ඇමෙරිකාව වීසා ලබා දීලා තිබෙනවා. උග‍්‍ර ඇමෙරිකානු විරෝධින් වන මුවම්මර් ගඩාපි සහ පිදෙල් කැස්ත්‍රෝටත් වීසා දීලා තිබෙනවා. එහෙම නම් ෆොන්සේකා ඇමතිතුමාට විතරක් වීසා නොලැබුණේ ඇයි?
ෆොන්සේකා ඇමතිතුමාට වීසා ප‍්‍රතික්ෂේප කිරීමක් ඇත්තටම සිදු වෙලා නෑ. ඇත්තටම වුණේ ජනාධිපතිතුමා එතුමාව දාලා ගිය එකයි. මේ යෝධයා මහ සංඝ රත්නයට බැන බැන ඉන්න අතරේ මම මෙයාව ඇමෙරිකාවේ අර ගෙන ගියොත් හාමුදුරුවන්ට බනින නිසා තෑග්ගට ඇමෙරිකාවේ අරන් ගියා කියලා සිතාවි කියලා ජනාධිපතිතුමා ෆොන්සේකා ඇමතිතුමාව සිය නිල ධූත පිරිසෙන් ඉවත් කළා. කෙටියෙන් කිව්වොත් හැලූවා. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න තමයි වීසා ලැබුණේ නෑ කියලා රටට බොරු කිව්වේ. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.