(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජාතික ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන් පිරිසක් හෝ කණ්ඩායමක් ඉවත්ව ගියත් එය ජාතික ආණ්ඩුව කඩා වැටීමට හේතුවක් නොවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
‘අපිට තනිකර යුඑන්පී ආණ්ඩුවක් පත් කර ගත්තොත් වාසි වැඩියි, අපිත් කැමතියි ඒකට. ඒත් අපි තවමත් හිතන්නේ රට වෙනුවෙන්, අපේ වාසිය නෙමෙයි. රටේ ජාතික ප්‍රශ්න සියල්ල විසඳන්න නම් ජාතික ආණ්ඩුව තව දුරටත් රැක ගත යුතුයි. ඒ නිසා නම් කීපයක් එහාට මෙහාට විසි වුණාට ප්‍රධාන පක්ෂ දෙකේ තිබෙන බැඳීම එහෙම නැති වෙන්නේ නෑ කියල අපි හිතනවා. එහෙමත් බැරි වුනොත් තමයි අපි විකල්ප මාර්ග ගැන හිතල බලන්නේ’ යැයි මහලේකම්වරයා වැඩි දුරටත් පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.