(අංජුල මහික වීරරත්න සහ අතුරුගිරිය ගුණවතී ඉලංගකෝන් මැණිකේ)
කාන්තාවගේ ආර්ථික මෙන්ම දේශපාලන බලය ද ශක්තිමත් කිරීමට ජාතික රජය පියවර ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලබේ දී පැවැසීය.
”ශ්‍රී ලංකා ආර්ථිකයේ මුල් පුරුක වන කාන්තාව ආර්ථික ව්‍යුහයේ ඉහළටම ඔසවා තැබීම ජාතික රජයේ අරමුණ බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25ක් කර කාන්තාව දේශපාලන වශයෙන් ද බලවත් කරන්නේ යයි” ප්‍රකාශ කළේය.
සුජීව සේනසිංහ පදනම සංවිධාන කළ ‘දිරිය කතුන්’ කාන්තා බල ගැන්වීමේ ජාතික වැඩසටහනේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
කාන්තාවන් සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන්, ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ සහ ණය ආධාර දීම වැඩසටහන යටතේ සිදු කෙරෙයි.
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී වැඩසටහන පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
”සුජීව සේනසිංහ ඇමැතිතුමාගේ කඩුවෙල ආසනයේ කාන්තා සංවිධානය අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා රාජ්‍ය ඇමැති ධුරය බාර ගෙන මලික් සමරවික්‍රම ඇමැතිතුමා සමඟ එක් වී විශාල වැඩ කොටසක් කරමින් සිටිනවා.
එතුමාගේ ප්‍රධානත්වයෙන් තායිලන්තයේ ප්‍රධාන සමාගමක් සමඟ එක්ව කළුතර ප්‍රදේශයේ අක්කර 400ක් පුරා පැතිරුණු විශාල කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඉන් පසුව අවිස්සාවේල්ල ප්‍රදේශයේත් එවැනිම විශාල කර්මාන්ත කලාපයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කළුතර, අවිස්සාවේල්ල සහ වැලිගම ප්‍රදේශයන්හි ආරම්භ කෙරෙන කර්මාන්ත කලාපවලට අමතරව හම්බන්තොට තවත් කර්මාන්ත කලාප කිහිපයක්ම ආරම්භ කිරීමට නියමිතයි. ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඇතුළු විශාල වැඩ කොටසක් සුජීව සේනසිංහ ඇමැතිතුමා යටතේ ක්‍රියාත්මක වෙනවා.
සියල්ල කෙරෙන අතරතුර රටේ අපනයන වැඩි කිරීම ද කළ යුතුයි. රටේ අපනයනයට වඩා ආනයනයට වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් ණය වීමට වෙනවා. ණය ගෙවීමට යාමේදී තවත් ගැටලූ ඇති වෙනවා. සියලූ දේ සඳහා ආර්ථික සංවර්ධන උපායමාර්ග අමාත්‍යාංශය යටතේ එතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ යුතුයි.
ඒ වගේම පාර්ලිමේන්තුව තුළත්, රූපවාහිනියේ සියලූ සාකච්ඡා සඳහාත් ඉදිරිපත් වන ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ”front line of politices” ලෙස සුජීව සේනසිංහ ඇමැතිතුමා ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් අපේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම එතුමාගේ ප්‍රධානත්වයෙන් කරන මේ වැඩසටහනත් අගැයීමට ලක්විය යුතුයි.
මේ වැඩපිළිවෙළ මඟින් කාන්තාවන් සියලූ දෙනාටම රෙදි මහන මැෂින් දෙන අතර එමඟින් කාන්තාවන්ට අලූත් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා. අද මෙහි සිටින්නේ වැඩසටහන යටතේ ප්රතිලාභ ලබන පළමු කණ්ඩායම පමණයි. කාන්තා සංසදය තුළ සිටින මීටත් වඩා අති විශාල සංඛ්‍යාවකට මේ වැඩසටහන යටතේ ඉදිරියේදීත් රෙදි මහන මැෂින් දෙනවා.
ඇඟලූම් කර්මාන්තය ඉතා හොඳ ව්‍යාපාරයක් වනවා. වර්තමානය වනවිට විවිධ මාදිලියේ ඇඳුම් - පැළඳුම් සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා. අද බොහෝ තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ වෙළෙඳපොළෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නවාට වඩා තමන් වෙනුවෙන්ම නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමටයි.
මේ ප්‍රවණතාව ලෝකයේ සෑම රටකම දැකිය හැකියි. ඒ නිසා ලෝකයේ කොතරම් විශාල ඇඟලූම් නිෂ්පාදන ආයතනය තිබුණත් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන්නේ තමන් වෙනුවෙන්ම නිර්මාණය කර ගත් හෝ තමන් විසින්ම නිර්මාණය කර ගත් හෝ ඇඳුම් පැළඳුම්වලටයි.
මේ ආකාරයට මහා පරිමාණ සහ සුළු පරිමාණ වෙළෙඳපොළ දෙකටම ඇතුළත් වීමේ අවස්ථාව ජනතාවට දිය යුතුයි. මෙවැනි වෙළෙඳපොළ ගණනාවක් ලෝකයේ දැකිය හැකියි. ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සුපිරි වෙළෙඳසල් කොතරම් තිබුණත් ඇතැමුන් වැඩි කැමැත්ත දක්වන්නේ පොළට ගොස් තමන්ට අවශ්‍ය බඩු මිලදී ගැනීමටයි. අද පවතින ආර්ථිකය තුළ මේ කණ්ඩායම් දෙකම දැකිය හැකියි.
අද ක්‍රියාත්මක වන මේ වැඩසටහන හරහා කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙනවා. මහන මැෂින් ගෙන සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණය දීමේ වැඩසටහන ද මේ යටතේම ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සිංගර් සමාගමත්, හැටන් නැෂනල් බැංකුවත් එකට එකතු වෙලා. සියල්ල දෙන්නේ ස්වයං රැකියා ආරම්භ කරන ඔබ සඳහායි.
තවත් වසර පහකින් මේ ස්ථානයට මා පැමිණෙන විට මේ පිරිසෙන් ස්වයං රැකියා කරන්නන් ඉතිරිව නැති බව මට පෙනේවි. ඊට හේතුව ඒ වනවිට ඔවුන් කුඩා ව්‍යාපාරිකයන් බවට පත් වන නිසයි. කොටසක් ස්වයං රැකියා කරන විට තවත් කොටසක් කුඩා ව්‍යාපාරිකයන් බවට පත්වී ඔවුන් යටතේ සේවකයන් කිහිප දෙනකු සේවය කිරීම දක්වා දියුණුව ගත හැකියි.
තවත් අවුරුදු පහකින් පමණ මෙහි පැමිණියහොත් ඒ සියලූම දෙනා ළඟ පරිගණක යන්ත්‍ර ද තිබෙන්න පුළුවනි. මොකද නවීන ක්‍රමයට එය අත්‍යවශ්‍ය වන නිසයි.
ඇතැමුන් ඒ වනවිට තමන්ගේ ජංගම දුරකතනයෙන් තමන්ට අවශ්‍ය මෝස්තරය ඍජුවම මහන මැෂිම දක්වාම සම්බන්ධ කිරීම දක්වා දියුණු වීමට හැකියි. ඉන් තවත් අවුරුදු 10ක් ගතවන විට කුමක් සිදුවේදැයි මට කිව නොහැකියි. කෙසේ හෝ කුඩා ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා කරන්නන් යන කාණ්ඩ දෙකම අපට අවශ්‍ය වනවා.
ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අප කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වසරකට ලක්ෂ 20ක් පමණ වනවා. අපේ අරමුණ එය ලක්ෂ 50 දක්වා වර්ධනය කිරීමයි. ඒ හරහා බලාපොරොත්තු වන්නේ විශාල අලෙවියක් ඇති කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. සියල්ල තුළින් උත්සාහ කරන්නේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.
මහා සංඝරත්නය ප්‍රකාශ කළ ආකාරයට එදා රට ණය බරට හසු වී තිබුණා. ණය ප්‍රමාණය නිසා අපේ ආණ්ඩුව එක් වසරක් හෝ පවතින්නේ නැති බව ඇතැමුන් එදා පැවසුවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පරමාර්ථය ඇතිවයි. මේ වනවිට අප ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් සිටිනවා.
2015-2016 කාලවලදී ජනතාවට ප්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදුව තිබුණා. නමුත් 2017 වසරේ මේ වනවිට ජනතාව අතේ මුදල් ගැවසීමට පටන් ගත්තා. එළැඹෙන අලූත් අවුරුද්ද වනවිට මේ තත්ත්වය තවත් වර්ධනය කරගත යුතුයි.
රටේ වැඩිම අලෙවියක් වාර්තා වන්නේ නත්තල් කාලයේ සහ සිංහල අලූත් අවුරුදු කාලයේයි. ඒ අලෙවිය තවදුරටත් වැඩි කරමින් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේද?
සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට විදේශ ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් රටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර දේශීය ආයෝජකයන්ට සහන සලසා ඔවුන් දිරි ගැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනවා.
රටේ ආර්ථිකය ශක්තිමත් වීමට අනුකූලව රැකියා අවස්ථා ඇති වෙනවා. මේ වනවිට රටේ රැකියා අවස්ථා බොහොමයක් නිර්මාණය වෙලා. එවිට ජනතාවගේ ආදායම ඉහළ යනවා. ජනතාවගේ පසුම්බියේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි වූ විට සුපිරි වෙළෙඳසලට, වෙළෙඳසලට හෝ පොළට හෝ පැමිණ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.
අප ක්‍රියා කරන්නේ ඒ ආර්ථික දියුණුව ඇති කිරීමටයි. ආර්ථිකය දියුණු වූ විට ආගමික සිද්ධස්ථාන සඳහා මීටත් වඩා ආධාර උපකාර දීමට හැකියි.
පැවැති රජය ආදායම් උපයා ගත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම මඟිනුය. නමුත් අප ඒ පිළිවෙත අනුගමනය කළේ නැහැ. ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිලට අනුව අපේ තෙල් මිල පාලනය කළා. ඉන්ධන මඟින් අපට අධික ලාභයක් හෝ අලාභයක් හෝ අවශ්‍ය නැහැ. ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය ඔස්සේ අප ජනතාවට සහනය දුන්නා.
ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. ගැබිනි මවුවරුන් සඳහා රුපියල් 20,000 බැගින් දීම අප ආරම්භ කළා. ඒ අනුව ඉදිරි වසර තුන අපේ සංවර්ධන යුගය ලෙස වැඩ කරනවා.
ඒ පිළිබඳව සඳුදා (04) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටට හෙළි කෙරෙනවා. ආර්ථික වැඩසටහනේ අපේ අවධානය යොමු වූ විශේෂ කණ්ඩායමක් සිටිනවා. ඒ කාන්තාවනුයි.
වැවිලි කර්මාන්තයේත්, ඇඟලූම් කර්මාන්තයේත්, රාජ්‍ය සේවයේත් අංශ ගණනාවක් සිටින්නේ කාන්තාවනුයි. මැදපෙරදිග රැකියා ක්ෂේත්රයේ වැඩි ප්‍රමාණයක් කාන්තාවන් ඉන්නවා. ඒ අනුව රටේ ආර්ථිකය වැඩි වශයෙන් බලාත්මක කරන්නේ කාන්තාවන් විසිනුයි. කාන්තාවන් හැමදාම රටේ ආර්ථික ව්‍යුහයේ යටිපෙළෙහි පමණක් සිටිය යුතු නැහැ. ඔවුන් එතැනින් ඉහළට පැමිණිය යුතුයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ලේකම්වරුන් දක්වා පැමිණිය යුතුයි.
මේ කටයුතු ක්‍රම ක්‍රමයෙන් ආණ්ඩුව විසින් කරමින් සිටිනවා. පුද්ගලික අංශයේ අධ්යක්ෂ, කළමනාකාර ධුරවලට කාන්තාවන් පත්විය යුතුයි. අපේ රටේ ඒ ප්රවණතාවේ අඩුවක් තිබෙනවා.
නීති සහ වෛද්‍ය වෘත්තියෙහි කාන්තාවන්ගේ නියෝජනය හොඳින් දක්නට ලැබෙනවා. කම්කරු ක්ෂේත්රයේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 35%ක් වෙනවා. එය 40% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම කාන්තාවගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව මේ වැඩසටහන හරහාත් කාන්තා ව්‍යාපාරිකයන් බිහිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
කාන්තාවගේ ආර්ථික ශක්තිය ඉහළ නංවන අතරම මේ වනවිට අප කාන්තාවන්ගේ දේශපාලන ශක්තිය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා. මෙතෙක් කල් මැතිරවණ සඳහා කාන්තා නියෝජනය ඉතා පහළ අගයක් ගෙන තිබුණා.
මනාප ක්‍රමය සමඟ කාන්තාවන් සහ අලූත් තරුණයන් පවා මැතිවරණවලට තරග කිරීමට අකැමැති වුණා. සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට, ඇතැම් තරුණ තරුණියන් බලෙන් මැතිවරණවලට ඉදිරිපත් කරවීමට එකල සිදු වුණා.
නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා. කේවල සහ අනුපාත ක්‍රමය සම්මිශ්‍රණය වූ මැතිවරණ ක්‍රමයක් අප ඇති කළා. කේවල ක්‍රමය යටතේ මැතිවරණ පවත්වන විට මනාප 25% - 30%ක් ගත්ත ද ඇතැම් අපේක්ෂියන්ට පරාජය විය හැකියි. නමුත් ඔවුන්ට ද අවස්ථාව ලැබිය යුතුයි.
පසුගිය වසරේ මෙන්ම ඡුන්ද අපේක්ෂක නාමලේඛන ඉදිරිපත් කර, ඡුන්දය දෙන්නේ කාටදැයි යන ක්‍රමය එළැඹෙන මැතිවරණයේ දී ක්‍රියාත්මක වන්නේ නැහැ. එය කොට්ඨාසවලට බෙදෙනවා. කොට්ඨාස ක්‍රමය අනුව කඩුවෙල ආසනය කොට්ඨාස 28කට බෙදෙනවා. ඒ කොට්ඨාස 28කට අපේක්ෂක අපේක්ෂිකාවන් 28ක් පත් කළ යුතුයි.
එවිට ජනතාවට තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් සේවය කිරීමට වඩාත් සුදුසු පුද්ගලයාට මනාපය ප්‍රකාශ කරනවා. ඒ ක්‍රමය වඩාත් පහසුයි. නුසුදුසු පුද්ගලයන් කවුදැයි ජනතාව හඳුනා ගන්නවා. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට තම ප්‍රදේශය දියුණු කළ හැකි දැයි ජනතාව දන්නවා. ඒ අනුව තමන්ට සුදුසු අපේක්ෂකයා පහසුවෙන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා.
එමෙන්ම මැතිවරණයක් පරාජයට පත් වන පක්ෂවලට හිමි අනුපාත ක්‍රමය ද මේ මැතිවරණයට ඇතුළත් වෙනවා. අප තවත් අත්හදා බැලීමක් කරනවා. ඒ 25% කාන්තා නියෝජනය දීමයි. එක් එක් පක්ෂ එය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි අප අවධානයෙන් සිටිනවා. සෑම පක්ෂයක්ම මෙය කළ යුතුයි.
මේ ආකාරයට අප අලූත් ක්‍රමවේදක් ඇති කර තිබෙන අතර මැතිවරණයෙන් අනතුරුව අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැනත් බලමු. පළාත් සභා මැතිවරණයේදී කාන්තා නියෝජනය අනිවාර්යෙන් 25% දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.
මේ අත්හදා බැලීමටත්, නව මැතිවරණ ක්‍රමය සඳහත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාලය වුවමනා බැවින් පළාත් සභා මැතිවරණය අවුරුද්දකින් කල් දමා තිබෙනවා. මේ අනුව ක්‍රියා කළ විට පළාත් සභාව තුළත් කාන්තා නියෝජනය ඉහළ යනවා. ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත්, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවටත් හොඳ ක්‍රියාකාරීන්ට තේරී පත් විය හැකියි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික ශක්තියත්, දේශපාලන ශක්තියත් යන අංශ දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට කැප වුණා. තවදුරටත් ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා කරනවා.
උතුරේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය දීමටත් අප කටයුතු කරනවා. සමස්ත කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරන බව මා කියන්න කැමැතියි.
පක්ෂයක් ලෙස පසුගිය වසර 10 තුළ අප තීරණ ගත්ත ද ඒවා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ආණ්ඩු බලය ගත් මේ අවස්ථාවේ අප ඒ තීරණ කි‍්‍රයාත්මක කරනවා. කාන්තාවන්ට මෙවැනි නියෝජනයක් දීම පිළිබඳ ඇතැමුන්ට ප්‍රශ්න තිබුණා. නමුත් මේ වනවිට රටේ කාන්තා ප්‍රතිශතය ජනගහනයෙන් 50% ඉක්මවලා. ඒ නිසා තවත් ඒ පිළිබඳව වාද විවාද කර ඵලක් නැහැ. පාර්ලිමේන්තුව තුළත් 25%ක අවම කාන්තා නියෝජනය ඇති කිරීමට කටයුතු කරනවා. එය නෝර්වේ රාජ්‍යයේ වගේ 50%ක කාන්තා නියෝජනයක් බවට පත්වන්න පුළුවනි. කෙසේ නමුත් ආරම්භයක් ලෙස අප මේ කටයුතු කරනවා. ඉදිරි වසර 10 තුළදී අපට එමඟින් විශාල ප්‍රගතියක් ලබා ගත හැකියි” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.
ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ.
”දිරිය කාන්තාව ලක් ඉතිහාසයේ දිගින් - දිගටම දකින්න අසන්න ලැබෙනවා. අගමැතිතුමා නිරන්තරයෙන් කතා කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගෙඩනැගීම පිළිබඳවයි.
සුජීව ඇමැතිතුමා ඇරැඹූ මේ පියවර ශක්තිමත් ආර්ථිකයක් සහ කාන්තාවක් ගොඩනැගීමේ එක් පියවරක් බව කිව යුතුයි. මේ පළාතේ පමණක් නොව රටපුරා කාන්තාව බලගැන්වීමේ වැඩසටහන් කිරීමට හැකියාව ලැබේවි.
ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් ඇති රටක් කිරීමට කාන්තාවන්ට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.”
ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:-
”අගමැතිතුමා මට කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්න ඉගැන්නුවා. නායකතුමා අපට මුල සිට දේශපාලන ගමන ඉගැන්නුවා.
මා කිසි දිනෙක පක්ෂ ප්‍රතිපත්ති කැඩුවේ නැහැ. ඞීල් දැමුවේ නැහැ. රාජපක්ෂ දුෂණ - වංචා ගැන හෙළි කළා. ඍණ ගණන්වල තිබූ ආර්ථිකය වසර දෙකක් ඇතුළත ධන ආර්ථිකයක් බවට පත් කිරීමට අගමැතිතුමා සමත්වුණා.
අගමැතිතුමාට බොරු ගෞරව අවශ්‍ය වන්නේ නැහැ. ඕනෑම අවස්ථාවක අගමැතිතුමාට දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාව තිබෙනවා.
එක නැවක් නැතිව හම්බන්තොට වරායට කෝටි ගණනින් මුදල් පිච්චුවා. අප ඒ තත්ත්වය නැති කළා. නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතිව ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද?
අගමැතිතුමා ලංකාව ආසියාවේ මුල්‍ය කේන්ද්‍රය බවට පත් කිරීමට කටයුතු කළා. පාට පක්ෂ බේද අමතක කරමු. අප සොරකම් කරන්නේ නැහැ.
ඇතැම් මාධ්‍යවලින් මඩ ගහනවා. අගමැතිතුමා ඉවසනවා. මට නම් මඩ ගහපු ගමන් අධිකරණයට යනවා. ඉදිරියේදී මමත් අගමැතිතුමාගෙන් ඒ පිළිවෙත ඉදිරියේදී ඉගෙන ගත යුතුයි.
තව වසර පහක් ගතවන විට සීඝ්‍ර සංවර්ධනයේ ප්‍රතිඵල ඔබට දැක ගැනීමට අවස්ථාව ලැබේබි.
තව වසර තුනක් යනවිට තායිලන්ත ආර්ථිකයට සම කරන්න හැකිවේවි. පෞද්ගලික ආයතන සමග එක්ව ණය සහන භාණ්ඩ විකිණීමේ පහසුකම් ආදිය දෙනවා. මගේ පෞද්ගලික ව්‍යාපාරවලින් සීයට 30ක් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.
අපෙත් හොරෙකු දෙන්නෙකු ඇති. නමුත් නායකතුමා හෝ අප හෝ හොරකම් කරන්නේ නැහැ. මට බොරු අපහාස කරන අයට එරෙහිව නඩු දමා ඉන් ලැබෙන ආදායමත් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.
එක්සත් ජාතික පක්ෂය යනු පිරිසුදු පක්ෂයයි. අපේ නායකයන් පිරිසුදු දේශපාලකයන් බව කිව යුතුයි. රටේ ආර්ථිකය දියුණු කළ හැකි එකම නායකයා අගමැතිතුමායි.
අගමැතිතුමා හොරකමක් කර හසුවුණා යැයි යමෙකු සහතිකයක් දුන්නොත් එවෙලේම මා දේශපාලනයෙන් ඉවත් වෙනවා.”
නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි:
”ස්වයං රැකියා සඳහා අත්වැලක් සැපයීම සඳහා මහන මැෂින් දීමේ උත්සවයට ආරාධනා කිරීම ගැන පින් අනුමෝදන් කළ යුතුයි.
අද බුදු දහම පවා ආරක්ෂාවී ඇත්තේ කාන්තාව නිසයි. ඇය ඉතා කාර්යශූරයි. ආගමට දහමට ලැදිව කටයුතු කරමින් විශාල කාර්යභාරයක් කරනවා.
පිරිමි පක්ෂයට වඩා සියයට සියයකින් හැකියාවක් ඇතිව කාන්තාව කටයුතු කරනවා. සුජීව සේනසිංහ ඇමතිතුමාට ඔක්තෝබරයේදී ඉතා හොඳ ඇමතිධුරයක් ලැබෙන බව මා දන්නවා. එතුමාට ඊටත් වඩා හොඳ ඇමති ධුරයක් ලැබේවායි මා පාර්ථනා කරනවා.”
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියෝ මෙසේ කීහ.
”රට ඉල්ලා සිටින කාර්යභාරය සඳහා මේ වැඩසටහන ඉන්ධන සැපයීමක් බව කිව යුතුයි. රටට දැන් අවශ්‍ය කරන්නේ විශාල ආර්ථික පිම්මයි.
රජය බාරගෙන වසර දෙකහමාර ගතවුණේ රටේ ශීලාචාරකම්, ජාත්‍යන්තරය දිනාගැනීම් ආදිය ඇතිකර ගැනීමටයි. රටට ඉදිරියට යාමට එය අවශ්‍යයි. අද ලෝකයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පිළිගැනීම ලැබිලා අපට අවශ්‍ය සහය දීමට ලෝකය සූදානමින් සිටිනවා.
දැන් අප ඵලදාව නෙළාගන්නා යුගයට පැමිණ සිටිනවා.
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයේදී කාන්තාවට සුවිශේෂ තැනක් හිමි වෙනවා. විදේශ රැකියා ක්ෂේත්රයේදී ඇය අවමාන විඳිමින් විශාල මෙහෙවරක් කරනවා. ඇඟලූම් කම්හල්වල වැඩිපුර කාර්යක් කරන්නේ කාන්තාවයි. එමෙන්ම තේ දළු නෙළන කාන්තාව ආර්ථිකයට විශේෂ මෙහෙවරක් කරනවා.
ලොව දරා සිටීමේ ශක්තිය ඇති එකම සත්වයා කාන්තාවයි. ජනවාරි 8 වැනිදා වෙනස කිරීමේදී සුජීව සේනසිංහ මුල් තැනක් ගත් අයෙකු බව කිව යුතුයි.
ලොවක් ඉදිරියට ගත යුත්තේ නිෂ්පාදන කාර්යයෙනුයි. කාන්තාව ඊට හවුල්කර ගැනීමට කරන මෙම වෑයම ප්‍රසංශනීය බව කිව යුතුයි.”
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.