(මුලටියන - එස්. බාලසුරිය හා කඹුරුපිටිය - රසුන් දහනායක)
‘‘දෙයියන්ගේ හාල් කැවුණු කට්ටිය වාගේ මේ ආණ්ඩුවේ එක එකා බැණ ගන්නවා. ඒ ඇමැතිවරයා මේ ඇමැතිවරයාට හොරා කියනවා. මේ ඇමැති ඒ ඇමැතිට හොරා කියනවා. උන් ඔක්කොම එකතු වෙලා අපට හොරා තියනවා. අපට හොරාය කියලා උන් එදා ඉඳින් කිය කිය හිටියා. ඒත් දැන් සැබෑ හොරු හෙළිවෙලා. අපේ පැත්තේ හොරු හිටිය කියලනෙ කිව්වේ. උන් ටික ඒ පැත්තට ගිහින් දැන් ඇමැතිකම් කරනවා යැයි’’ හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මාතර මුලටියනදී පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හක්මණ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.
ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් මුලටියන පස්ගොඩ හා හක්මණ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ පොදුජන පෙරමුණේ ග්‍රාමීය කමිටු එක්ව එම රැස්වීම සංවිධානය කර තිබුණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.
‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණේ සැප්තැම්බර් මස දෙවැනිදාය. දෙවැනිදා බිහිවුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය අද (03) වැනිදා කැම්බල් පාක් එකේ පවත්වනවා. දැන් මේකේ වෙනසකට තියෙන්නේ මෙතෙක් කල් ශ්රීලනිපය තිබුණේ එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් හැටියටයි. බණ්ඩාරනායක මහත්තයා, ඞී.ඒ. රාජපක්ෂ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා වෙනම පක්ෂයක් හදලා ගියේ ආපසු එජාපයට බලය දෙන්න නොවෙයි.
අපි හැමදාම හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කයි. අපියි මේ පක්ෂය ආරක්ෂා කළේ. චන්ද්‍රිකා හා අනුර පක්ෂය කඩාගෙන ගියා. දුවාලා පුතාලා යද්දී මැතිණිය හා ශ්රීලනිපය රැකගත්තේ අප හා මේ රටේ ප්රගතිශීලි ජනතාවයි.
ඒත් අද සිදු වී තිබෙන්නේ කුමක්ද? මෙතෙක් කල් අපේ විරුද්ධවාදියා වූ එජාපය සමඟ හවුල්වෙලා ශ්රීලනිපය පරදවන්න කටයුතු කරනවා. ජනාධිපතිවරණයේදී ඒක කළා. ඒ විතරත් නොවෙයි පාර්ලිමේන්තු මැතිවරණ වෙලාවේ පක්ෂයේ ලේකම්, භාණ්ඩාගාරික තනතුරු දර පුඅය පන්නා දමලා, මධ්‍යම කාරක සභාවෙන් භාගයක් විසුරුවා හැරියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මම මෙහෙයවෙද්දී මෙයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා එයාගේ විධායක ජනාධිපති බලය පාවිච්චි කළා. මැතිවරණයේ අවසාන මොහොතේ එහෙම කියපු හින්දා රටේ ජනතාව නොමඟ ගියා. අපට 117ක් ගන්න තිබුණු අවස්ථාව අහිමි කරලා අපි 95කට බැස්සුවා. ඒකේ ගෞරවය කවුද ගන්නේ. එතුමාම කියනවා පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවලා තමුසෙලා 95යි ගත්තේ. එහෙම නොවුණා නම් 117කට යනවා කියලා. අන්තිම මොහොතේ වැඬේ දුන්නා. ඒක හින්දා තමයි යූ.එන්.පී. එක දිනුවේ. යූ.එන්.පී. මන්ත්‍රීවරුන්ට කියපු රහසක් ඒකයි එතුමා දැන් මොකක්ද කරලා තියෙන්නේ. මෙයාට පුළුවන්ද ශ්‍රීලනිප සම්මේලනය මෙහෙම මෙහෙයවන්න.
අද මා අහගෙන හිටියා ෆේස්බුක් එකේ අපි රනිල්ට, රනිල් අපට කියලා තියනවා. ශ්‍රීලනිපයේ අත දාගෙන යන්නේ නිල්පාට ඇඳගෙන. අප අලියට කියලයි කියන්නේ. උඹලා අලිය ළඟට වෙලා හිටපල්ලා. අපි අලියට විරුද්ධව ඉන්නවා. එයාලා එයාලත් එක්ක අත්වැල් බැඳ ගත්තා වේ අපට එයාලත් එක්ක අත්වැල් බැඳ ගන්න බැහැ.
ඒකාබද්ධ විපක්ෂය විවෘතයි. ඕනෑ පක්ෂයකට අපේ සම්මේලනයට එන්න පුළුවන්. ඇවිත් බැඳෙන්න පුළුවන්. අපේ ප්‍රතිපත්තිය එදා බණ්ඩාරනායක මහත්තයා ආරම්භ කරපු සටනේ ප්‍රතිපත්තියි. මේ රටේ ජනතාවගේ ජනතාවාදී සංස්කෘතිය හා ප්‍රතිපත්තිය රැකගන්න, අපේ සම්පත් රැක ගන්න, ඉදිරියට ගෙන යන්න මේවා තමයි අපගේ ප්‍රතිපත්තිය.
අපේ පක්ෂය පාවා දීලා ඉවරවෙලා තමයි අද මෙහෙම සම්මේලන පවත්වන්නේ. මා නම් හිතන්නේ එතුමාට ඔය සම්මේලන ගැන එතරම් උනන්දුවක් නැහැ. මෙතුමා අදම දාගන්නේ එතුමාගේ උපන් දිනය සැප්තැම්බර් තුන්වැනිදා නිසයි. ඒක සමරන්නයි. සුබ පතන්නයි. ඒක නිසා කියලයි මා හිතන්නේ හාමුදුරුවනේ.
මේ කෙටිකාලය තුළ රනිල් හැමදාම කියන්නේ කුමක්ද? ණය බර, ණය බර, ණය බර කියලයි. එයා කතා කරන්නේ හැමදාම බරේ, බරේ ණය බර තමයි කතා කරන්නේ. ඉතින් මේ ණය බර ගැන කතා කරන මිනිහාට පැහැදිලිව අප කියන්න ඕනෑ අපි අවුරුදු නමයක් හිටියා ඒ කාලය තුළ මේ රටේ අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කළා. මිනිසුන්ට නිදහසේ ඉන්න, ජීවත්වෙන්න අයිතිය ලබාදුන්නා. ඒක අප ලබාගත් ජයග්‍රහණයක්. ඊට පස්සේ රට සංවර්ධනය කළා. අපි හම්බන්තොට වරාය ගුවන් තොටුපළ විතරක් නොවෙයි මුළු පළාතම, මුළු රටම සංවර්ධනය කළා. මේ ප්‍රදේශයේ මාර්ග දිහා බලන්න. එදා මේ පාර තිබුණේ කොහොමද? මේකේ යන්න පුළුවන්කම තිබුණද? මා අනන්ත අප්‍රමාණ වාරයක් මේ පාරේ එහාට මෙහාට ගිහින් තිබෙනවා. හැබැයි පාරේ යන්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව. අපි කාපට් දාලා පාරවල් ටික හදලා දුන්නා. රටේ ජනතාවගෙන් 99% කට විදුලිය ලබා දුන්නා. අද හැම ගමකම, ගෙදරකටම විදුලිය තිබෙනවා. ජනතාවට ජලය ලබාදීමට අප ලෑස්ති වෙලයි හිටියේ.
අප ඉස්පිරිතාල ටික හදලා දුන්නා. ඒ විතරක් නොවෙයි පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිසාපති කාර්යාල අලූතෙන් ගොඩනැගුවා. ඒ අතරතුර අර පැත්තේ බෝම්බ ටික ඉවත් කළා. කෘෂිකර්මය දියුණු කළා. වැව් හදලා මහ විශාල ජල යෝජනා ක්‍රම හැම දිස්ත්‍රික්කයකම හදලා, මහවැලිය උඩහට හරවලා මොරගහ කන්ද යෝජනා ක්‍රමය යන මේවා ඔක්කොම කළේ අපේ ආණ්ඩු කාලයේදීය. ඒවා දැන් එයාට අමතක වෙලා. හැමදාම බොරු කතාවක් කියනවා. අප කරපු හොඳ වැඩක් නැහැ.
ශ්‍රීලනිපයේ ස්වර්ණමය යුගය තිබුණේ මගේ කාලයේදීය. මේ ඔක්කොම කරදීලා අප මේ රට නිදහස් කර දීලා තිබුණා. එහෙත් දැන් ආපහු පාවාදෙන වැඩ පිළිවෙළකට යනවා. අද එක හමුදාපතිවරයකු කියනවා හිටපු හමුදාපතිට විරුද්ධව සාක්කි දෙන්න ඕනෑම උසාවියකට යන්න සූදානම්ලූ. මේක තමයි මේ රටට ඇති වී තිබෙන තත්ත්වය හාමුදුරුවනේ. දෙයියන්ගේ හාල් කැවුණම කියලා කතාවක් අපේ ගම්වල තිබෙනවා. එක එකා බැණ ගන්නවා. එක් ඇමැතිවරයකු අනෙක් ඇමැතිට හොරා කියනවා. එයා මූට හොරා කියනවා. උන් ඔක්කොම එකතුවෙලා අපට හොරාය කියලා තියනවා. අපට හොරා කියන එක උන් එදා ඉඳන්ම කියනවා. දැන් සැබෑ හොරු හෙළිවෙලා. අපේ පැත්තේ හොරු හිටිය කියලනෙ කිව්වේ. උන් ටික තමයි ඒ පැත්තට ගිහින් දැන් ඇමැතිකම් කරන්නේ. අපට නොවෙයි ඒ කට්ටියට තිබෙන චෝදනා පැරදිච්ච හාදයෝ ටිකට ඇමැතිකම් දීලා.
සහෝදරවරුනි, අපි පැහැදිලිව කියනවා අප සමඟ අත්වැල් බැඳගන්න. අප තමුන්නාන්සේලා සමඟ ඉන්නවා. ජනතාව සමඟ ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශාඛා සමිති හදලා, ඒවා එකතු කරලා ඒකාබද්ධ විපක්ෂය හදන්න පියවරගෙන තිබෙනවා. මේ සියලූ දෙනාම එකතු වී එජාපයේ ජනතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කරන්න සූදානම් වන්න කියන එක මතක් කරමින් ඔබ සියලූ දෙනාට ජයවේවා යැයි’’ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:- ‘‘මා පොදුජන පෙරමුණේ ආසන 114ක රැස්වීම්වලට සහභාගී වුණා. වැඩිම සෙනඟ හක්මණ මේ රැස්වීමේ ඉන්නේ. මේ ආණ්ඩුවට දැන් අවුරුදු 2යි මාස 7යි දින 26ක් වෙනවා. වෙනස දැන් කොහොමද? මිනිසුන් රැවටුණා. ඒ කාලේ කුඩු ගැහුවේ කන් හැන්දෙන්. දැන් සවලෙන්. පසුගිය මාස හත ඇතුළත කුඩු කිලෝ 650ක් රටට ගෙනත් තියෙනවා. පොඩි දරුවන් පවා කුඩුවලට ඇබ්බැහි වෙලා. දින 100න් අලූත් රටක් ගොඩනගනවා කියලා කීවා. දැන් මාස 60කින් අලූත් රටක් ගොඩ නගනවා කියලා වික්‍රමසිංහ මහතා කියනවා. ලක්ෂ 10කට රැකියා දෙනවා කීවා. ඒ අනුව දැනටමත් ලක්ෂ 5 ක් දීලා තිබිය යුතුයි.
කුරුණෑගල ෆොක්ස්වාගන් කම්හළෙන් කාර් හදනවා ඇති. මවු සමාගම නොදැන මෙහේ කම්හලක් දැම්මා. හොරණ ටයර් කම්හලක් දැම්මලූ. ඒක කලින් තිබුණු එකක්. ඉතින් මේ යහපාලන ආණ්ඩුව මේ රටට කිසිම දෙයක් තවමත් කරල නැහැ.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු හා රණවිරු යන බලවේග මත ශ්රීලනිපය ආරක්ෂා වෙලා තියෙන්නේ. පසුගිය ආණ්ඩු මහා සංඝරත්නය හිරේ දැම්මේ නැහැ. මේ යහපාලන ආණ්ඩුව මේ වනවිට හාමුදුරුවෝ 57 නමක් හිරෝ දාලා. දොස්තරලාට සලකන හැටි කොහොමද. එදා දොස්තරලා වැඩි දෙනකු යහපාලනයට ඡන්දය දුන්නා. ගොවීන් දැන් අනාථයි. කොළොන්නාවේ තෙල් සේවකයන්ට මැරයන් දමා පහර දුන්නා. ත්රස්ත්රවාදය නිම කළ රණවිරුවන්ට සලකන හැටි හොඳට පෙනෙනවා. ශ්‍රී ලංකාකාරයන්ට මේ හවුල් ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද? නියම ශ්‍රී ලංකාකාරයන් ඉන්නේ අප සමඟ යැයි අබේගුණවර්ධන මහතා කීය.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා:- ‘‘ජනවාරි 8ට කලින් රටේ ආණ්ඩුවක් තිබෙන බව දැනුණා. දැන් ආණ්ඩුවක් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. හැම පැත්තෙන්ම අකර්මණ්‍ය වුණු රටක් දැන් තියෙන්නේ. හැම පැත්තෙන්ම නතර වුණු රටක්. සිහින ලෝකයකට යන්න ජනවාරි 8වැනිදා ඡුන්ද දුන්නා. දැන් ජනතාවගේ සිහින බොඳ වෙලා. අපට දැන් මහා වගකීමක් ඉටු කරන්න තිබෙනවා. මේ පාදඩ ආණ්ඩුව ගෙදර යවන වගකීම ඉටු කරන්න තිබෙනවා. මේ රටේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නැවත පත්කරන්න අවශ්‍යයි. එතුමා රටේ නායකයා කරලා මිසක් මේ සටන නවත්වන්නේ නැහැ’’.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා:- ‘‘ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හැටියට කැම්බල් පිටියේ 66 වැනි සම්මේලනයට සහභාගි නොවී හක්මණ බල මණ්ඩල රැස්වීමට ආවේ ඇයි කියලා කියන්න ඕනෑ. ශ්රීලනිපය හා එජාපය එක් වී මේ හයිබි්රඞ් ආණ්ඩුව හදල තියෙන්නේ. සැබෑ ශ්‍රීලනිප සාමාජිකයන් හැටියට බණ්ඩාරනායක ප්‍රතිපත්ති රකින මිනිසුන් හැටියට අපට ඒ රැස්වීමට යන්න බැහැ. අද ශ්‍රීලනිප ඇමැතිවරු එජාප ආණ්ඩුවේ කුක්කන් වෙලා. ලජ්ජ තියෙන මිනිහකුට මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද? මේ ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප ඇමැතිවරු මහින්ද රාජපක්ෂ මහතාගේ නම විකුණලයි දිනුවේ.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:- ‘‘පොදුජන පෙරමුණේ බල මණ්ඩල රැස්වීම්වලින් වැඩිම ජන ගඟ ගැලූවේ හක්මණ බලමණ්ඩල රැස්වීමටයි. මේ ජන ගඟ ගලන්නේ මහින්ද රාජපක්ෂ කියන ලාංඡුනයටයි. පැරදිලා ගෙදර ගිය නායකයකුට මේ වාගේ ජන ප්‍රසාදයක් තිබුණාද? මොන තරම් මඩ ගැහුවත් මහින්ද රාජපක්ෂ මහතා තමයි ජනතාවට වැඩියෙන්ම ආදරය කරන නායකයා. ඉතිහාසයේ මෙහෙම නායකයකු ඉඳලා තියෙනවද? ජනවාරි 8 දිනයෙන් පසුවත් මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව ආදරෙයි. ඒ රටක් දිනාදුන් නායකයා නිසයි.
මහින්ද රාජපක්ෂ මහතා වාගේ ජන නායකයකු හඳුන්වා දුන් දකුණේ ජනතාවට පින්දෙනවා. මේ ආණ්ඩුව රටක් වටින හම්බන්තොට වරාය වික්කා. ඒකට සිරිසේන මහතා මුලින් විරුද්ධ වුණා. පසුව කැමැත්ත දුන්නා. මේක චීන්නු නිකම් ගනීවිද? අධිවේගී මාර්ගයත් විකුණන්න හදනවා. හැමදේම විකුණන්න හදනවා. රාජපක්ෂ ණය කියලා බැඳුම්කරයෙන් මුළු භාණ්ඩාගාරයම හිස් කළා. ඒත් මහින්ද මහතා ණය අරගෙන රට හැදුවා. මිනිසුන් ණය බරෙන් මිරිකෙව්වෙ නැහැ. දැන් හැම අතින්ම ජනතාව පීඩාවට පත් කරනවා යැයිද ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.
කැටියපේ සුභද්‍රාරාමාධිපති කැටියපේ පේමසාර හිමියන් රැස්වීමට සහභාගි වී සිටි පිරිස පංච ශීලයෙහි පිහිට වූ අතර, මුලටියන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පිළිගැනීමේ කතාව කළේය.
පස්ගොඩ හිටපු සභාපති මහින්ද ඊශ්වර, දකුණු පළාත් මන්ත්‍රී බින්දු වීරසිංහ, සරත් ද අල්විස් යන මහත්වරුද අදහස් දැක්වූහ.
ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, නාමල් රාජපජෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද දකුණු පළාත් අමාත්‍ය වීරසුමන වීරසිංහ, මන්ත්‍රීවරුන් වන සරත් යාපා, චන්දන සිරිබද්දන, අරුණ ගුණරත්න, මුලටියන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ඇල්ලදෙණිය මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
එහිදී මුලටියන, හක්මන හා පස්ගොඩ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන්ට පොදුජන පෙරමුණේ ලිපිගොනු බාරදීම රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීන් අතින් සිදු කෙරිණි.