(අමරදාස සිල්වා)
ජනරාල් ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කළ බවට තමන් ළඟ සාක්ෂි ඇතැයි කියමින් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කළ පාවාදීම රජකාලේ කළානම් උලතියන බව ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මහතා පැවැසීය.
සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයේ වරදක් තිබේනම් ඔහුගේ ඇමැතිකමත් උදුරාගත යුතු බවත්, එසේ නොකර රජය නිහඬ පිළිවෙතක් රැකීමෙන් පැහැදිලිවන්නේ එය රජයේ මතය වන බවත් ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේ 3 දා පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා කීය.
වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු දැක්වීම සඳහා ජා.නි.පෙ. මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
අපි දන්නවා ජෙනරාල් ජගත් ජයසූරිය මහතා බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයකට බලපාන ශ්‍රී ලංකාවේ තානාපතිවරයා හැටියට පත්කර සිටියා.
එතුමා ශ්‍රී ලංකාවට පැමිණි පසුව ඔහු යුද අපරාධ කළ බවට චෝදනා කරමින් එම රටවල් සමූහය ඔහුට එරෙහිව නඩු පවරන්නට කටයුතු කර තිබෙනවා. ලංකාවේ ජනාධිපතිතුමා නම් කියනවා අපි සෑම රටක්ම ජයගෙන තිබෙනවා කියලා.
නමුත් අපට අහන්නට සිද්ධවෙනවා ඔය කියන ජයගත්තු ලෝකයට ඒ රටවල් හතර පහ අයිති නැද්ද කියලා. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ඔය ලතින් ඇමෙරිකානු රටවල් සියල්ලම අපට පක්ෂාග්රාහිවයි සිටියේ. දැන් සියල්ල කනපිට හැරිලා.
ඒ ලතින් ඇමෙරිකානු රටවල් ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව එසේ චෝදනා කරනවිට යුද්ධයට නායකත්වය දුන් ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කියනවා ඔව් ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ කළා තමයි... ඒ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වුවහොත් තමන් සාක්ෂි දෙනවා.... තමන් ළඟ සාක්ෂි තියෙනවා කියලා.
ලෝකයේ කුමන රටක හෝ යුද හමුදා නායකයකුට මේ වගේ ප්‍රකාශයක් කළ හැකිද? තමන් නායකත්වය දුන් යුද හමුදාවේ නිලධාරියකු අමුඅමුවේ මේ ආකාරයට පාවාදෙන්නට පුළුවන් වන්නේ පහත් මානසිකත්වයක් තියෙන අයෙකුට විතරයි. රජ කාලේ මේ වගේ රාජද්‍රෝහි ප්‍රකාශයක් කළා නම් ඔහුව උලතියෙනවාමයි. මේ කාලේ ඒ වගේ දඬුවමක් නැති නිසා තමයි සරත් ෆොන්සේකාට නිරුපද්‍රිතව ජීවත්වෙන්නට හැකිවෙලා තියෙන්නේ.
මේ අතින් බලනවිට සරත් ෆොන්සේකා හැර අනික් සියලූම නිලධාරීන් යුද අපරාධ කරලා. යුද්ධය මෙහෙයවූ සරත් ෆොන්සේකා විතරයි සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ ඉඳලා තියෙන්නේ. මෙහෙම විලිලැජ්ජාවක් නැති, සාමූහික වගකීමක් නොදන්න, තමාට තිබෙන පෞද්ගලික කෝන්තරයක් නිසා රටෙන් පළිගන්නා චරිතයක් මේ ලංකා ඉතිහාසයේ නම් අපට සොයා ගන්නට බැහැ. ලෝක ඉතිහාසයෙත් නැතුව ඇති.
මෙය සරත් ෆොන්සේකාගේ මානසිකත්වය විතරක් නොවෙයි මෙය මේ රජයටම තියෙන පොදු මානසිකත්වයක්. යුද හමුදාවකට දේශපාලන පක්ෂයක් නැහැ. යුද්ධ හමුදාව යුද්ධ කළේ උපන් දේශයට නිදහස ලබාදීමේ අරමුණෙන්. නිදහස ලබාදුන් ඒ රණවිරුවන්ට ආණ්ඩුවක් මාරු වුණා කියලා ඒ අයට දඬුවම් කරන්නට කටයුතු යොදනවා නම් ඒක මොනවිදියේ ආණ්ඩුවක් විය හැකිද? ඒක වචනයේ පරිසමාප්තියෙන්ම දේශද්‍රෝහි ආණ්ඩුවක්මයි.
ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා දැන් පාවාදීලා තියෙන්නේ ජෙනරාල් ජගත් ජයසූරිය රණවිරුවා, ඊළඟට පාවාදේවි, සේනාධිනායකයා, ඊළඟට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද අපරාධ කළ බවට ප්‍රකාශයක් නිකුත් කරන්නට පුළුවනි. මේ වගේ පාවාදීම් කරපු සරත් ෆොන්සේකා වැනි පුද්ගලයන්ටද ඇමැතිකම් දීලා තියෙන්නේ. මේ වගේ පුද්ගලයන්ටද ජනතාව ඇමැතිතුමෝ කියා කියන්නේ.
ඒ නිසා අපි ජනතාවට කියන්නේ ඉතාම තීරණාත්මක තැනකයි අපේ රට පවතින්නේ. මේ ආණ්ඩුව පිනවන්නේ සුළු ජාතිවාදී කල්ලි. සුළු ජාතික කල්ලි කණ්ඩායම් පිනවන්නට ආණ්ඩුව රණවිරුවන්ට වටකොට පහර දෙන්නට පටන්ගෙන තිබෙනවා. රණවිරුවන්ගේ සිත් බිඳවන්නට නලවනවා. රණවිරු ස්මාරක කියා සවි කරන්නේ කොටි ස්මාරක. මේ අතින් අපට කිවහැක්කේ සුළු ජාතිවාදී අන්තවාදී කල්ලිවල ප්රාණඇපකාරයාට ලක්වූ ආණ්ඩුවක් බවයි. සරත් ෆොන්සේකාගේ කටින් පිටවෙන ලතෝනිය තමයි මේ ආණ්ඩුවේ ලක්ෂණය.
පළාත් සභා පළාත් පාලන ඡන්ද ලබන අවුරුද්දේ එකවර පවත්වනවා කියා...... අගමැතිවරයා කියා තිබෙනවා. පළාත් සභා, පළාත් පාලන ඡන්දය නොවෙයි මේ රජයේ බලාපොරොත්තුව බෙදුම්වාදී ව්‍යවස්ථාව මුලින් ගෙනැල්ලා එයට පාර්ලිමේන්තුවේදී 2/3 බලයෙන් සම්මත කරගෙන ඊට පස්සේ ඒ බෙදුම්වාදී ව්‍යවස්ථාව අනුමත කර ගන්නට ජනමත විචාරණයකට යන්නයි. මේක තමයි රජයේ සැබෑ වුවමණාව.
දැන් ආණ්ඩුවට කිසිම ජනතා ප්‍රසාදයක් නැති බව දන්නා නිසයි දැන් ඔය හොර ගල් අහුලමින් සිටින්නේ.
ප්රජාතන්ත්රවාදය වළලපු මේ ආණ්ඩුව දැන් මැතිවරණ සිතියමත් අකුලා දමලා ඉවරයි. මර්දනයටත් පණදීලා ඉවරයි. මේ නිසා තමයි සරත් ෆොන්සේකා වැනි අයගේ කටවල් වලට පණ එන්නේ. මේ නිසා මේ දේශද්‍රෝහි ආණ්ඩුව පරාජයට පත්කරන්නට ජනතාව පෙළගැසී සිටිය යුතුයි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය - සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබුණා මේ යුද අපරාධවලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතාත් සම්බන්ධ බව ඒ කතාවට රාජපක්ෂ පවුලත් ගාවලා තමයි කතා කරන්නේ.
පිළිතුර - සරත් ෆොන්සේකාට තිබෙන පිපාසාව තමයි රාජපක්ෂවරු හිරේට යැවීම. මුළු හමුදාවම පාවාදීලා හෝ රාජපක්ෂවරු හිරේ යවන්නයි ඔහුට උවමණා කරන්නේ. වෛරය පැසව පැසවා කියාගෙන යන කතාවලින් ඒක පැහැදිලිය. අන්තිමට සිද්ධවන්නේ ඇමැති සරත් ෆොන්සේකා අතින් යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය වීමයි.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යුද අපරාධවලට ගාවන්න නම් තමන් යුද්ධය මෙහෙයවූවේ නැහැ ගෝඨාභය රාජපක්ෂ එය කළ බව කිව යුතුයි.
එතුමාට එහෙම කියන්නත් බැහැ. යුද ජයග්‍රහණයේ ගෞරවය සරත් ෆොන්සේකාට. අපරාධ නම් ඒවා ඔක්කෝම ආරක්ෂක ලේකම්ට සහ ජනාධිපතිට.
ප්රශ්නය - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය ගැන ජා.නි.පෙ. අදහස් කරන්නේ කුමක්ද?
පිළිතුර - සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය දරුණු පාවාදීමක් හැටියටයි ජා.නි.පෙ. අර්ථ දක්වන්නේ. ඔහුගේ කට වසන්නට හැකි වන්නේ රට පාවදෙන මේ ආණ්ඩුවත් පරාජය කිරීමෙන් පමණයි. සරත් ෆොන්සේකා මේ විදියේ ප්‍රකාශ කරනකොට චැනල් ෆෝ ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට තවත් චිත්‍රපටයක් නිර්මාණය කරාවි.
ප්රශ්නය - ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ කළ බව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකියැයි ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය රජයේ ප්‍රකාශයක් නොවන බවට වාර්තා පළ වී තිබුණා නේද?
පිළිතුර - එහෙම නම් සරත් ෆොන්සේකාගේ එම බරපතළ ප්‍රකාශයට එරෙහි රජය පියවර ගත යුතුයි.
විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා හම්බන්තොට වරාය විකුණු එක වැරදියි කිව්වම ඇමැතිකම උදුරා ගත්තා නම්, ඡන්ද පන්දාහක් විතරක් අරගෙන නන්නත්තාරවෙලා හිටිය සරත් ෆොන්සේකාට දීපු ඇමැති කම මේ රාජද්‍රෝහි ප්‍රකාශයක් කළා කියලා, ඒක ගන්න බැරි ඇයි? ඒ ඇමැතිකම නොගැනීමෙන් තහවුරු වෙන්නේ ඔහුගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතය බව නේද?