’’ප්‍රතිපත්ති පෑහීමක් නෑ : දෙන්නා දෙපැත්තට අදිනවා’’


(නාලක සංජීව දහනායක, අමදෝරු අමරජීව)

ජනාධිපතිවරයාගේ හා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිපත්ති එකිනෙකට නොගැළපෙන බැවින් දෙදෙනා දෙපැත්තට අදිනවා මිස රටට වැඩක් නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  මහතා ත‍්‍රිකුණාමලයේදී  පැවැසීය.

මෙය එළ හරකා හා මී හරකා එකට බැඳ හානවා වැනි ක‍්‍රියාවක් බවත් මේ කඹ ඇදිල්ලෙන් රටට කිසිවක් නොලැබෙන බවත් රාජපක්‍ෂ මහතා කීය.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ත‍්‍රිකුණාමලය නගරයේ මැක්හෙයිසර් ක‍්‍රීඩාංගණයේ දී පෙරේදා (3) පවත්වන ලද ජනරැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ආණ්ඩුව ආර්ථිකය කාබාසිනියා කරලා  රට බෙදන ව්‍යවස්ථා ගේන්න හදනවා. රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කරනවා. එට්කා වැනි ගිවිසුම් හරහා අපේ රටේ තරුණයන්ගේ රැකියා ටික ඉන්දියාවට දෙන්න හදනවා. මේ නිසා රට එකම අවුල් ජාලාවක් වෙලා.

රටේ හැමතැනම උද්ඝෝෂණ. ත‍්‍රස්තවාදය අවසන් කළ රණවිරුවන්ට දඬුවම් කරනවා. අද රටට නායකයන් වැහිවැහැලා. රටේ ඇත්ත නායකයා කවුද කියලා අපි දන්නේ නැහැ. හැම කෙනාම නායකයන් වීම නිසා රටේ හැමතැනම ප‍්‍රශ්න. කැබිනට් ප‍්‍රකාශකවරු තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනා මත තුනක් කියනවා. ඒ නිසා රජයේ මතය මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. මේ ආණ්ඩුවට ප‍්‍රතිපත්ති ගොඩයි. අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිපත්ති හා ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්තියි ගැළපෙන්නේ නැහැ. දෙන්න දෙපැත්තට අදිනවා. මේක එළ හරකයි, මී හරකයි එකට බැඳලා හානව වගේ වැඩක්. අන්තිමට මුකුත්ම නැහැ.

මේ ආණ්ඩුවට  ඇමැතිවරුන්ගේ විෂයන් ටිකත් හරියට බෙදාගන්න බැහැ. අවුරුදු දෙකහමාරට මේ ආණ්ඩුව කළේ මට බැණපු එක විතරයි. හැමදාම මට බැන්න. මට තියෙන බය මොකක්ද. මේ ආණ්ඩුව වෙන කරන්න දෙයක් නැති නිසා හිටපු ඇමැතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු ඔක්කොගෙන්ම පළිගන්නවා. මේ රට ගෙනියන්නේ පොලිස් රාජ්‍යයකට. ඒකට ඉඩ තියන්න බැහැ.

මේ ආණ්ඩුව ජිනීවාවලදී රණවිරුවන් පාවා දුන්නා. රටේ යුද්ධයක් තිබුණා. ත‍්‍රස්තවාදය නිමකරලා අත්අඩංගුවට පත් වූ හා බාර වූ ත‍්‍රස්තවාදීන් දොළොස්දහස් පන්සියයක් පුනරුත්ථාපනය කළා. දැන් අපිව වෙනත් රටවලට පාවා දෙන්න පනතක් ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ පනත සම්මත වුණොත් යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන්, දේශපාලන නායකයන් සම්බන්ධ නඩු අහන්නේ විදේශීය රටවලට අවශ්‍ය ආකාරයටයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඒ පනතට විරුද්ධයි.

මට විරුද්ධව ඡන්දය දුන්න ගොවියත්, ජනාධිපතිවරයාට ඡුන්දය දුන්න ගොවියත් අද වැඩිමිලට පොහොර ගන්නවා. පාසල් දරුවන්ට දෙන්නේ බාල රෙදි. ඒ රෙද්දෙන් ෂර්ට් එක මැහුවොත් කලිසම මහන්න බැහැ. කලිසම මැහුවොත් ෂර්ට් එක මහන්න බැහැ.

පන්සලේ පිං කැටේට අත තියපු මේ ආණ්ඩුව අනාගතයේදී අනෙකුත් ආගමික ස්ථානවලටත් අත තියාවි. සංහිඳියාව කියමින් රටේ ආගම්වාදය ඉස්මතු කරනවා. මේකට ආණ්ඩුව වග කියන්න  ඕන. මේවයි පස්සෙ ඉන්නේ කවුද කියලා හෙළි වෙනවා.

අපේ කාලයේ වැඩ කරන්න නිලධාරින්ට බලය දුන්නා. නිලධාරින් වැඩ කළා. ඒකටත් මෙයාල පද හදනවා. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයත් මේ ආණ්ඩුවටම ගැලපෙනවා. විපක්‍ෂයේ කාර්ය ක‍්‍රියාවට නංවන්නේත් අපියි.

නැගෙනහිරට මේ ආණ්ඩුව කරපු එක වැඩක් කියන්න. නැගෙනහිරට වැඩක් කළේ කවුද? මේ ආණ්ඩුවට වැඩ කරන්න බැහැ.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.

අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් වසර දෙකහමාරක් තුළ මේ රටට කළ දෙයක් නැහැ. ජනතාවට වැඩක් කරන්න බැරිනම් ආණ්ඩුවක් තියාගෙන හිටියට වැඩක් නැහැ. පහුගිය රජය කාලේ මේ පළාතේ ආර්ථික සංවර්ධනයක් ඇති වුණා. ඒ සංවර්ධනය කරා අපි නැවත ගමන් කළ යුතුයි.

56 බලවේගය විසින් අත්පත්කරගත් ජනතා ජයග‍්‍රහණ නැවත ආපසු හැරවීමට එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරනවා. රට පාවාදෙන මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. ජනතාව ඒකට සූදානම්. ඒ බව දන්නා නිසා ආණ්ඩුව ඡුන්ද තියන්නේ නැහැ. මේකයි මේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. මෙහෙම ආණ්ඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙන්නේ කොහොමද? මේක තනිකරම ඒකාධිපතිවාදයක්. මාතෘභූමිය නැවත එක්සේසත් කරගෙන ගම්බද ජනතාවගේ ආදායම් වැඩිකර නවපරපුරට රැකියා ලැබෙන ආර්ථික පරිවර්ථනයකට රට පරිවර්තනය කළ යුතුයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තුන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

ඉන්දියාවේ හා බටහිර රටවල වුවමනාව මත 2015 දී රටේ ප‍්‍රබෝධමත් ගමන අතරමග නතර වුණා. ඒත් අපි මේ රට අනාගත පරපුර වෙනුවෙන් රැකගත යුතුයි. මේ ආණ්ඩුවේ වැඩ නැහැ. කයිවාරුව විතරයි.

අද ජනතාවට වගාකරන්න වතුර නැහැ. පොහොර සහනාධාර කැපුවා. රටේ ආර්ථිකය වැටෙනව. ඒ පොදු ව්‍යසනයට මුළු ජාතියම ගොදුරු වෙලා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම ලක්මාතාවගේ දරුවන්. ඒ නිසා අපිට රට වෙනුවෙන් යුතුකමක් තිබෙනවා. මේ ත‍්‍රිකුණාමල වරාය ඇතුළු ජාතික සම්පත් ඉන්දියාව ඇතුළු බටහිර රටවලට ගිලගන්න දෙන්න බැහැ. ති‍්‍රකුණාමල ජනතාවගේ අභිමානය ත‍්‍රිකුණාමල වරායයි. මේ වරාය බටහිර ජනතාවගේ තිප්පොළක් වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ.

ත‍්‍රිකුණාමල වරාය විතරක් නෙමෙයි. නුවරඑළිය තැපැල් කාර්යාලය, මහනුවර දුම්රියපොළ, ගාල්ල දුම්රිය පොළ ඉන්දියාවට දෙනවා. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව කෑගැසූ ජවිපෙ අද මේ ගැන නිහඬයි. අපි නිහඬව හිටියොත් අනාගත පරපුරට රටක් ඉතුරුවන්නේ නැහැ.

අලූත් ව්‍යවස්ථාවේ විනාශය නිවැරදිව හඳුනාගෙන අස්ගිරි පාර්ශ්වය නිවේදනයක් නිකුත් කළා. අපි ඒ වෙනුවෙන් මහා සංඝරත්නයට දණ නමා ආචාර කරනවා. යෝජිත නව ව්‍යවස්ථාවෙන් පොලිස් බලය, පරිපාලන බලය, මුදල් බලය පළාත් සභාවලට දුන්නම මධ්‍යම රජයට මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. මේ රට පුංචි රටක්. මේක බෙදන්න දෙන්න බැහැ. එහෙම වුණොත් බටහිර ජාතීන්ට අපිව ගිලගන්න පහසු වේවි.

බටහිර ඔත්තු සේවා මුස්ලිම් අන්තවාදී කල්ලි, සිංහල අන්තවාදි කල්ලි නිර්මාණය කරනවා. මේ ආණ්ඩුව හදන සන්ධානයක් නැහැ.  ඒ වෙනුවට ජාතිවාදී, අන්තවාදී කල්ලි ශක්තිමත් කරනව.

අපේ ආණ්ඩුව රටේ කුණු ප‍්‍රශ්නය විසඳුවා. ආණ්ඩුවට දෙකහමාරයි අවුරුදු. මේ ආණ්ඩුව යටතේ රටේම කුණු ප‍්‍රශ්න වැඩිවුණා. මුළු රටේම රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා. පළාත් පාලන ආයතන සක‍්‍රියව තිබුණානම් මේ ප‍්‍රශ්න ඇතිවන්නේ නැහැ. යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක මහින්ද මහත්තය නතර කළා. දැන් ඒ වෙනුවට මේ ආණ්ඩුව ඩෙංගුවලින් මිනිස්සු මරණවා.

ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට එකතුවෙලා මේ ආණ්ඩුව පළවා නොහැරියහොත් මේ රට නොරටුන්ට අයිතිවෙනවා. මේ ආණ්ඩුව යුද හමුදා බුද්ධි අංශය, නාවික හමුදා බුද්ධි අංශය නිලධාරින් හිරකරලා. බුද්ධි අංශ හිරකිරීම නිසා ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා.

මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දිනවල පාකිස්තානයට ගියා. ඒ ගමන නතර කරන්න විදේශ ඇමතිවරයා පුදුම උත්සාහයක් ගත්තා. ඒත් ගමන නතර කරන්න බැරිවුණා. පාකිස්තානය මේ රටේ යුද්ධය නිමකරන්න අමිල දායකත්වයක් ලබාදුන්නා. ඒ රටවල් අද අපිත් එක්ක අමනාපයි. මේ ආණ්ඩුව යටතේ අපි මෙච්චර කල් ක‍්‍රියාත්මක කළ නොබැඳි රාජ්‍ය ප‍්‍රතිපත්තිය කෙළෙසිලා. විදේශ ප‍්‍රතිපත්තිය කාබාසිනියා වෙලා යැයි පැවසීය.

පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

මේ භූමියේ තමයි ප‍්‍රභාකරන්ගේ ඊළාම් දේශයේ සිහින නගරය පිහිටුවන්න තීරණය කර තිබුණේ. නමුත් ඊට පෙර ප‍්‍රභාකරන් විනාශ කරන්න මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම අනුව මුළු ත‍්‍රිකුණාමල නගරයම ඉන්දියාවට පවරා දී තිබෙනවා. දැවැන්ත ආයෝජන ඉන්දියාව කළාම එවා ආරක්ෂා කරන්න ඉන්දියානු හමුදාව ත‍්‍රිකුණාමල වරායට බස්සනවා. මේ පළාත්වල වැඩිහිටි අය දන්නවා ඉන්දීය හමුදාවේ රඟ. 87 ඉන්දියානු භීෂණය නැවත ත‍්‍රිකුණාමලයට ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා.

මේ ආණ්ඩුව තවදුරටත් තිබුණොත් අපට රටක් ඉතිරි නොවන බව මහා සංඝරත්නය තේරුම් ගෙන තිබෙනවා. අස්ගිරි මහා නායක හිමිගේ සිංහ නාදයෙන් මුළු රටම අවදි වුණා.

අපේ රටේ හිඟන්නෙක්වත් පන්සලේ පිං කැටේට අත තියන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව ඒකටත් අත තියන්න හදනවා. මොරගහකන්ද ජනාධිපතිවරයාගේ, ණය මහින්දගේ. අධිවේගය චන්ද්‍රිකාගේ, ඒක හදන්න ගත්ත ණය මහින්දගේ. මේක මාර බෙදිල්ලක්.

අද ලක් මෑනියන් හඬනවා. ඔබ ලක් මවගේ සුජාත දරුවන්නම් මව් බිම බේරාගන්න මහින්ද මහතා වටා එක් විය යුතුය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.

මෙම භූමිය ලෝකයේ වැදගත්ම භූමියයි. ත‍්‍රිකුණාමල වරායේ පිහිටීම අද්වීතීය පිහිටීමක්. අද මේ වරායට බැල්ම හෙළා ගෙන ඉන්න බටහිර බලවතුන් එදත් බැල්ම හෙළුවා. මෙම වරාය විදේශීය බලවතුන්ට යටත්වුණොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බය වුණාටත් වඩා අපිට බය වෙන්න වෙයි.

අපි අපේ රටේ නිදහසට කැමතියි. අපි වෙනත් රටක දේපළ අල්ල ගන්න ගියොත් මහා අවුල් ජාලාවක් ඇති වෙනවා. මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය අහෝසි කරගෙන යනවා. එසේ කරන්නේ අප රටේ ජාතීන් අතර ගැටීම් ඇති කරන්නයි. මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ඒකයි. අපි එකිනෙකාට ගරු කරන තරමට නැති වී ගිය අයිතිවාසිකම් නැවත දිනා ගත හැකියි.

අපි එකිනෙකා අත්වැල් බැඳගෙන හිටියොත් රජය පරාජය කර මේ රට නැවත ජනතාවගේ රටක් කරන්න පුළුවන්. අපට තවම ඡන්ද බලය ලැබී නැහැ. ඡන්ද බලය ලැබුණොත් අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා යැයි පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය.

මේ රජයේ අ¥රදරශී වැඩ පිළිවෙළ නිසා ත‍්‍රිකුණාමල ජනතාවට ලොකු විනාශයක් වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ රටෙන් ත‍්‍රස්තවාදය තුරන් කරලා සියලූම ජන කොටස් අතර සංහිඳියාව ඇති කළා. ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළා.

අද ඒ සියල්ලම කඩා වැටිලා. රටේ කුණු ප‍්‍රශ්නය විසඳන්න බැරි ආණ්ඩුවකට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. රජයක් තිබෙන්නේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමටයි. නමුත් මේ රජය යටතේ එවැන්නක් සිදු වන්නේ නැහැ.

අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා මෙසේ පැවසීය.

නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් එළවා මේ ප‍්‍රදේශය ලෙයින් පෙඟී ගියා. ඒ භූමි සියල්ලම නැවත වගා බිම් බවට පත් කළේ මහින්ද රාපජක්ෂ මහතා මිස මෛත‍්‍රී - රනිල් ආණ්ඩු නෙමෙයි. නමුත් 2015 ජනාධිපතිවරණයේදී මුස්ලිම්, දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට අඩුවෙන් ඡුන්දය දුන්නා. ඒත් මේ රටේ දහසක් මව්පියන්ගේ දරුවන්ගේ කඳුළු පිස්සේ මහින්ද රාජපක්ෂ මහතායි.

නැගෙනහිර පළාතට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කළේ මහින්ද රාජපක්ෂයි. උතුරු පළාතට ප‍්‍රජාතත්ත‍්‍රවාදය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා මිස ද්‍රවිඩ සංධානය නෙමෙයි. සයනයිට් කරල කරේ තිබූ දරුවාගේ අතට පෑන දුන්නේ මහින්ද රාජපක්ෂයි. කවුද කියන්නේ මහින්ද රාජපක්ෂ දෙමළ ජනතාවට, මුස්ලිම් ජනතාවට විරුද්ධයි කියලා. මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ ආණ්ඩුවේ නායකයා කිරීමට ත‍්‍රිකුණාමල ඇතුළු නැගෙනහිර පළාතේ ජනතාව සූදානම්.

අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය මෙසේ පැවසීය.

අම්පාර දිස්ත‍්‍රික්කයේ හා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්ක දෙකේම ජනතාවට තිබෙන්නේ එක සමාන අත්දැකීම්. යුද්ධය නිම වෙන්න පෙර නැගෙනහිර අපි ජීවත්වුනේ කොහොමද කියලා අපිට හොඳට මතකයි. ඒ අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. යුද්ධය නිම කරලා නැගෙනහිර පළාතේ මහා සංවර්ධනයක් කළ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාට ආදරෙයි.

මහින්ද මහත්තයා එළවලා බලයට ආපු මේ ආණ්ඩුව ජනතාවට මොකද කළේ.

මැතිවරණ කල්දාන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී මේ ආණ්ඩුව එළවා හරින්න දිවිහිමියෙන් කැප වෙනවා.

නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මහතා මෙසේ අදහස් දැක්වීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ආණ්ඩු හදපු හැමෝටම වැරදුණා. මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් වරදින දවස වැඩි ඈතක නෙමෙයි. අපි වැඩි කල් යන්න කලින් මේ ආණ්ඩුව පරදවනවා. අපට යුද්ධය ඉවර කරලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. යුද්ධය අවසන්වුණු නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම දෙනා නැගෙනිහර පළාතේ සතුටින් ජීවත් වෙනවා. යුද්ධය ඉවර කර දීපු මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගේන එක අපේ එකම අරමුණයි. ඒ සඳහා අපි ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙනවා යයි පැවසීය.

මෙම ජන රැලිය සඳහා මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රසන්න රණතුංග, ඞී.වී. චානක, ශෙහාන් හේමසිංහ, සී.බී. රත්නායක, නාමල් රාජපක්ෂ, රංජිත් සොයිසා, පද්ම උදයශාන්ත, නිරෝෂන් පේ‍්‍රමරත්න ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.

ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා වෘත්තීය සමිති නියෝජිතයෝද මෙහිදී අදහස් දැක්වූහ.