ග්‍රහලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්‍රහයෙකු වන අඟහරු හෙවත් කුජ ග්‍රහයා 2019 දෙසැම්බර් මස 25 වන දින මෙතෙක් ගමන් කළ තුලා රාශියෙන් කුජට හිමි වෘශ්චික රාශියට පැමිණෙයි. 2020 පෙබරවාරි මස 08 දින දක්වා කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ බලවත්ව ගමන් කරයි. අඟහරු, භුමි පුත්‍ර, භෞම, මංගල, අංගාර ආදී නම්වලින් ද හඳුන්වනු ලබන මෙම ග්‍රහයා ලෝකයේ ආරක්ෂකයා වශයෙන් හඳුන්වනු ලබන්නේ සටන්කාමී ගතිය, තාක්‍ෂණ බුද්ධිය, ආත්ම විශ්වාසය යන ලක්ෂණ විද්‍යාමාන වන නිසාය. අප උපන්දා සිට මිය යන තෙක් ශරීරය පුරා පැතිරී ඇති ධමනි, ශිරා හරහා ගමන් කරන රුධිරයේ අයිතිකරු ද රුධිරය සම්බන්ධ රෝග, ලේ ගැලීම් වැනි අනතුරු ආදී සියලු කාර්යයන් පාලනය කරන්නේ කුජ විසිනි.
මේෂ හා වෘශ්චික රාශි කුජට අයත්ය. තමාගේම නිවසයි. මකර රාශියේ උච්ච බලය ලබන අතර කටක රාශියේ දී නීච වේ. යම් ජන්ම පත්‍රයක කුජ 10 වන භාවයේ තැන්පත් වී ඇති නම් එය දිග්බලය යැයි කියනු ලැබේ. එවිට කුජ බලවත් වී සුභඵල දෙනු ඇත. ඔබේ ජන්ම කේන්ද්‍රයේ කුජ බලවත් නම් ඔබ විවාදයේ දක්‍ෂ, එඩිතර හා නිර්භීත කෙනෙකු වෙයි. කුජ දුර්වලව පිහිටා තිබේ නම් ඉක්මනින් අධෛර්යයට පත්වන අතර බියසුලු පසුබාන ගතිය පෙන්නුම් කරයි.
2019 දෙසැම්බර් 25 වන දින සිට 2020 පෙබරවාරි මස 08 දින දක්වා කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ ස්වක්ෂේත්‍ර වෙමින් ගත කරන කාලයේ වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්නවලින් මෙලොව එළිය දකින දරුවන්ට “රුචක” නම් පංච මහා පුරුෂ යෝගය උදාවේ. එඩිතරකම, නිර්භීතකම, ජයග්‍රහණය ලබන අතර කඩවසම් පෙනුම, කාර්මික හා වගා කටයුතුවලට දක්ෂකම හා ක්‍රීඩාවට දක්ෂතාව ලැබෙන සුබ යෝගයක් මෙම දරුවන්ට උදාවේ. කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ ගමන් කරන කාලයේ කුජගෙන් නියෝජනය වන උසස් හමුදා නිලධාරීන් ඇතුළුව ආරක්ෂක සේවාවන්හි විවිධ නිලයන්ට අයත් අයට ද ශල්‍ය වෛද්‍යවරුන්, අධිකරණ වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉංජිනේරුවන් වැනි තනතුරුවල දක්ෂතා වඩාත් ප්‍රකට වේ. තනතුරු උසස් වේ. සුබදායක කාලයකි.
කුජ මාරුව ලග්නවලට බලපාන අයුරු
මේෂ - මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති කුජ අටවැන්නේ ගමන් කිරීම එතරම් යහපත් නොවේ. තීන්දු තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. තුවාල හා අනතුරුවලට ලක්වීමට ඉඩ තිබෙන බැවින් වාහන පැදවීමේ දී සැලකිලිමත් වන්න. උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න. කුජ දශා ගත කරන අය කුජ අපලයට අදාළ ග්‍රහශාන්ති කර්ම කර ගන්න.
වෘෂභ - වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ මෙතෙක් ගමන් කළ හයවැන්නෙන් හත්වැන්නට පැමිණේ. හවුල් ව්‍යාපාරවලින් බලාපොරොත්තු වූ ලාභ ලබා ගැනීමට තරමක බාධා ඇතිවීමට ඉඩඇත. විවාහ සහකරුට මිශ්‍රඵලදායකයි. අවිවාහක තරුණ තරුණියින් ගේ මංගල කටයුතුවලට තරමක බාධා ඇතිවිය හැක. ප්‍රසිද්ධ සතුරන්ගෙන් ප්‍රවේසම් වන්න.
මිථුන - මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ හයවැන්නට පැමිණීම සුබඵලදායකයි. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබීම නිසා ව්‍යාපාර සාර්ථක වේ. සතුරු කරදරවලින් ජය ලැබේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට බොහෝදුරට ඉඩ ඇත. උත්සාහය, උනන්දුව හා කැපවීම් ඉහළ යයි. නිරෝගී සුවය ලැබේ.
කටක - කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ පස්වැන්නට පැමිණේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මිශ්‍රඵලදායකයි. දරුවන්ගේ ඉදිරි දියුණුව වෙනුවෙන් කාලය වැය කිරීමට සිදුවේ. මුදල් ආයෝජනය කිරීමේදී දුරදිග බලා කටයුතු කරන්න. තරුණ තරුණියන්ගේ පෙම් සබඳතාවලට තරමක බාධා ඇතිවිය හැකියි.
සිංහ - සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ හතරවැන්නට පැමිණේ. ගෘහ ජීවිතයේ දියුණුවට කටයුතු කරයි. ඔබේ ක්‍ෂණික කෝපය පාලනය කර ගන්න. නැත්නම් පවුලේ සමගියට බාධා ඇතිවිය හැකියි. මේ අතර පදිංචි ස්ථානය පිළිබඳව ගැටලු ඇතිවීමට ඉඩ ඇත. මව්පියන්ට හෝ නිවසේ වැඩිහිටියකුට තරමක් අපල බවක් පෙන්වයි.
කන්‍යා - කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ තුන්වැන්න හෙවත් වික්‍රමස්ථානයට පැමිණ බලවත්වීම සුබදායක වේ. උත්සාහය හා උනන්දුව ඉහළ මට්ටමක පවතී. සහෝදර හා අසල්වැසි සබඳතා වැඩිදියුණු වේ. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබේ. ප්‍රයෝජනවත් ගමන් යෙදේ. මේ අතර ලිපිලේඛන හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබදායකය.
තුලා - තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ මෙතෙක් ගමන් කළ ලග්නයෙන් දෙවැන්නට පැමිණීම මිශ්‍රඵලදායක වේ. තැන්පත් ධනය පරිහරණයේ දී සැලකිලිමත් වන්න. වියදම් පාලනය කර ගන්න. දුරදිග බලා කතා කරන්න. පවුලේ දියුණුවට කරන කටයුතුවලට එතරම් යහපත් නොවේ.
වෘශ්චික - වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ ලග්නයට පැමිණීම මිශ්‍රඵලදායකයි. උත්සාහය ධෛර්යය ඉහළ යයි. රහස් සතුරන්ගේ කරදරවලින් ප්‍රවේශම් වන්න. විවාහ සහකරු සමග ඉවසීමෙන් කටයුතු කරන්න. හවුල්කරුවන් සමග කටයුතු කිරීමේදී මතභේද ඇතිවීමට ඉඩතිබේ. හදිසි අනතුරුවලින් ප්‍රවේසම් වන්න.
ධනු - ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ මෙතෙක් ගමන් කළ එකොළොස්වැන්නෙන් දොළොස්වැන්නට පැමිණීම සුබඵල තරමක් අඩුවේ. විදේශ ගමන් සාර්ථක වේ. වියදම් පාලනය කර ගන්න. දරුවෙකු නිසා සිත් තැවුල් ඇතිවේ. මුදල් ආයෝජනය කිරීමේ දී දුරදිග බලා කටයුතු කරන්න. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.
මකර - මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට කුජ පැමිණ බලවත් වීම ඉතා සුබදායක වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. බලවත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. සහෝදරයින්ට සුබයි. පොළොවෙන් ලැබෙන වස්තු ලැබීමට සුබ කාලයකි. සමාජ සේවා කටයුතුවල නිරත වීමට සිදුවේ.
කුම්භ - කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ මෙතෙක් ගමන් කළ නමවැන්නෙන් දසවැන්නට පැමිණේ. කුජ දිග් බලයෙන් ගමන් කරන නිසා රැකියා අංශවල උසස්වීම් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩිවේ. නව රැකියා ලාභ හිමිවේ. ආරක්‍ෂක අංශවල රැකියා කරන අයට සුබදායක වේ. උත්සාහය හා උනන්දුව වැඩිවෙයි-
මීන - මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ මෙතෙක් ගමන් කළ අටවැන්නෙන් නමවැන්නට පැමිණේ. තරමක්දුරට පැවති කරදරකාරී තත්ත්වය සුබ අතට හැරේ. පෙර පින, වාසනාව හා දෙවියන්ගේ පිහිට ලැබේ. ආගම දහමට සිත යොමුවේ. දුර වන්දනා ගමන් යෙදේ. වැඩිපුර ඉගෙනීමකට දොරටු විවර වේ.
මේ අනුව කුජ මාරුව සමහර ලග්නවලට සුබ ඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ ඵලත් ඇති කරන බව පෙනේ. කුජ අපලය ඇති අය අඟහරුවාදා දිනවල බුද්ධ පූජා, බෝධි පූජා තැබීම සුබය. කරණීයමෙත්ත සූත්‍රය භාවිතය සුදුසු වේ. ලේ දන්දීම සහ තුවාල වූ අයට පිහිට වීම හා අභය දානය දීම වැනි ශාන්ති කර්ම මගින් අපල සමනය කර ගත හැක.
සුබ නව වසරක් වේවා !
ජ්‍යෝතිර්වේදිනි, අජන්තා ඒකනායක
මාංගොඩ, මැදමහනුවර.