ඉන්දියාවෙන් තවත් වාර්තාවක්
අහල පහළ කයි කතන්දර නිසා පුදුම කණගාටුවකින් හිටියේ
අවුරුදු 82 සැමියා කියයි
මංගයම්මා යරමාති සහ ඇගේ සැමියා සීතාරාම රාජාරාඕ
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගුන්ටුර් දිස්ත්‍රික්කයේ පදිංචි අවුරුදු 74ක් වයසැති මංගයම්මා යරමාති නමැති කාන්තාව පසුගියදා නිවුන් දරුවන් බිහිකළේ ඉන්දියාවෙන් වාර්තා වූ දරු උපතක් කළ වයස්ගතම කාන්තාවන්ගෙන් අයෙකු බවට පත් වෙමිනි.
නැගෙනහිර ගෝදාවරී දිස්ත්‍රික්කයේ කොතාපෙට් හි අහල්යා රෝහලේ පෙවරු 10.30ට පමණ ඇය නිවුන් ගැහැනු දැරියන් බිහි කළාය. ඇගේ වයස පිළිබඳව සලකා බලා ඇයට සිසේරියන් සැත්කමක් කිරීමට වෛද්‍යවරුන් කල්පනා කළ අතර දරු දෙදෙනාම උපත් අවස්ථාවේ හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බව වාර්තා වේ.
අවුරුදු 82ක් වයසැති ඇගේ සැමියා සීතාරාම රාජාරාඕ කියන්නේ වසර ගණනාවක් තිස්සේ දරුවන් නොමැතිව සිටීම නිසා තමන්ට ගමේ මිනිසුන් නොයෙක් කයි කතන්දර කියූ බවය. මෙතරම් වයස්ගත වී වුවත් දරුවෙක් ලබාගැනීමට ඔවුන් පොළඹවාලූයේ එම හේතුවයි.
විවාහ වී වසර 57ක් ගත වූවත්, දරුවන් නොමැති වීම නිසා මෙම යුවළ සිටියේ දැඩි අපේක්ෂා භංගත්වයෙනි. දරුවන් නොමැති බව කියමින් අනෙකුත් කාන්තාවන් තමාට නොයෙකුත් අපහාස කළ බව යරමාති මහත්මිය කියන්නීය.
ඉන්දියාව වැනි රටක සාම්ප්‍රදායික සමාජයක විවාහක යුවළකට දරුවන් නොමැතිවීම යනු සමාජයේ ගැරහුම්, නින්දා අපවාද ලැබෙන්නට ප්‍රබල හේතුවකි. පරපුර ඉදිරියට ගෙන යන්නට දරුවන් නොමැති වීම නිසා එක් අතකින් තැවෙද්දී, අසල්වැසියන්ගේ හා හිතවතුන්ගේ කතා නිසා තවත් අතකින් හිත් රිදීම් සිදුවෙද්දී වසර ගණනාවක් තිස්සේ නොයෙක් වෛද්‍යවරුන් වෙත ගොස් නොයෙක් ප්‍රතිකර්ම කර බැලුවත් ඒ සියල්ල අසාර්ථක විය.
වසර 57ක් දීග කෑ මංගයම්මා හා රාජාරාඕ නැවත අපේක්ෂාවක් දල්වා ගන්නේ වයස 55ක් වූ ඔවුන්ගේ අසල්වැසි කාන්තාවක් නළ දරු උපත් ක්‍රමය භාවිතයෙන් දරුවන් ලබාගත් බව ආරංචි වීමත් සමඟය. අවුරුදු 70 පසුකර සිටියද, වයස ගැන සිතා පසුබසින්නට ඔවුහු අකමැති වූහ. දෙදෙනා වෛද්‍යවරයෙකු මුණ ගැසීමට යන්නේ ඒ අනුවය.
මංගයම්මාගේ ආර්තවහරණය සිදුවී වසර 25ක් පමණ ගත වී ඇති බැවින් ඇගේ ඩිම්බ පිටවීමක් සිදු නොවන නිසා, පරිත්‍යාග කරන ලද ඩිම්බයක් තෝරාගෙන එය රාජාරාඕගේ ශුක්‍රාණුවක් සමඟ සංසේචනය කර හදාගත් කළලය යරමාතිගේ කුසයේ තැන්පත් කරන ලදී.
කාන්තාවකගේ ඩිම්බ, කාලයක් ගත වෙන විට ප්‍රමාණයෙන් සහ ගුණාත්මක බවෙන් පිරිහෙන නමුත් අනෙක් කොටස් එසේ වයස අනුව හැකිළීමක් හෝ දිගහැරීමක් සිදු නොවන බැවින් මේ අයුරින් දරුවන් ලබාගැනීමට හැකි වෙන බව මෙම සැත්කම හා රෝගියා භාරව සිටි සනක්කයාලා උමා ශංකර් නමැති නළ දරු උපත් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා පවසයි.
වෛද්‍ය ශංකර්ට අනුව, යරමාති පිළිබඳව විශේෂ වෛද්‍ය කණ්ඩායම් තුනක් පත් කරන ලදී. එයින් එක් පිරිසක් ඇගේ ගැබිනි බව පිළිබඳව සොයා බැලීමට, දෙවැනි කණ්ඩායම ඇගේ පෝෂණය පිළිබඳව සොයා බැලීමට හා තෙවැනි කණ්ඩායම ඇගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාව සඳහාය.
දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී මෙකල වැඩි දෙනෙක් විඳවන රෝග කිසිවක් නොමැතිව හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඇය සිටි බැවින් මෙසේ මවට හෝ දරුවන්ට කිසිදු ගැටලුවක් නොමැතිව කටයුත්ත සාර්ථක කරගැනීමට හැකිවූ බව වෛද්‍යවරයා පවසයි. දරු උපතින් පසුව අධික මානසික පීඩනය හේතුවෙන් ඇය දැඩි සත්කාර ඒකකයට යොමු කරන්නට සිදුවූ බවත්, වෛද්‍ය ශංකර් ප්‍රකාශ කළේය.
දරුවන්ට කිරි දීමේ හැකියාවක් ඇයට නොමැති නිසා, කිරි බැංකුවෙන් ලබාගත් කිරි දරුවන්ට පොවනු ලැබේ.
දරුවන් රැගෙන එමින්
ඔවුන්ගේ නිවුන් දැරියන් දෙදෙනා
මංගයම්මා වෛද්‍ය උමා ශංකර් සමඟ
දැන් ඇයට එක් දරුවෙකු වෙනුවට දරු දෙදෙනෙක්ම සිටිති. නින්දා අපහාස සියල්ලට දෙදෙනා සාර්ථකව පිළිතුරු දී ඇත. දරුවන් ලැබී දිනකට පසුව සැමියා රාජාරාඕට හෘදයාබාධයක් වැලඳී රෝහල්ගත කිරීමට සිදු විය.
යරමාති මාතාවගේ වයස 74ක් බව කියැවුණත් එය නිවැරදිව සනාථ කරගැනීමට නොහැකි වී ඇති බැවින් තවමත් ඇයට ගිනස් ලෝක වාර්තාව තැබීමට නොහැකි වී ඇත. දැනට එම වාර්තාවට හිමිකම් කියන්නේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි මාරියා ඩෙල් කාර්මෙන් නමැති 66 වියැති කාන්තාවයි. වර්ෂ 2006 සැප්තැම්බර් මාසයේ දී ඇය නිවුන් පිරිමි දරුවන් බිහි කළාය. වර්ෂ 2016දී පන්ජාබයේ වෙසෙන 70 වියැති ඩලින්ජර් කෝර් ද පිරිමි දරුවෙකු බිහි කළාය.
ඉන්දියාවේ වැඩිමහල් කාන්තාවන් දරුවන් බිහිකිරීම පිළිබඳ සිද්ධි නිසා ඉන්දීය වෛද්‍ය ප්‍රජාව නොසන්සුන් වෙමින් පවතින බවත් වාර්තා වේ. එවැනි අතිශය වයස්ගත කාන්තාවන් දරුවන් බිහිකිරීමෙන් පසුව ඔවුන් රැකබලා ගන්නේ කෙසේද, හදිසියේ ඔවුන් මියගිය හොත් දරුවන්ට යන කලදසාව කුමක්ද යන බරපතළ ප්‍රශ්න ඔවුන් හමුවේ ඇත.
අන්තර්ජාලය ඇසුරිනි.
නිසංසලා දිසානායක