නැන්දයි ලේළියි ලස්සන නිවසයි


 

 

ලස්සන හදවත් ගතිගුණ ගේදොර බැබළෙන්නේ   
සිව්වන රැස තුළ බලවත් ග්‍රහයින් පිහිටන්නේ   
නැන්දගෙ ලේළිගෙ හබයට විසඳුම ලැබදෙන්නේ   
සිරිකත කැන්දන ලේලිය නිවසට සැපදෙන්නේ   

 

හදවත කේන්ද්‍රයේ සිව්වන රාශියයි. ලග්නය, ලග්නාධිපති, චන්ද්‍ර රාශිය හා වෘෂභයට උච්ච වන කටකයට ස්වක්ෂේත්‍ර වන සිතට අධිපති සඳු (ච) ග්‍රහයාගේ උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර, සතුරු, නීච ස්වාභාවය සිතේ අසිරිය විස්තර කරයි. සිත හා කය එකතුව උපතයි.   


සිත කයින් වෙන්වීම මරණයයි. එසේ නම් පුද්ගලයකුගේ සිතට සියයට පනහක බලයක් හිමිවිය යුතුය. සිතට වඩා විචිත්‍ර වූ දෙයක් ලොවෙහි නැත. සිතේ ඇතිවන චිත්තයන් පුද්ගලයන් දහසක් තුළ ඇතිවනුයේ දහස් ආකාරයකටය.   


එක් පුද්ගලයකු තුළ වුවද අවස්ථා දහසකදී ඇතිවනුයේ දහස් ආකාරයකිනි. සිතේ ඇති වන චෛතසිකයන්ද සිත සේම විචිත්‍ර වේ. පුද්ගලයකුගේ සිතේ ඇතිවන යහපත් හෝ අයහපත් සිතුවිලි හදවතේ ගුණය හා මුසුවීම කේන්ද්‍රයේ සිව්වෙනි භාවය තුළින් විද්‍යමාන වේ. සාමාන්‍ය අධ්‍යාපනය, මවගේ ගති ස්වාභාවය, පදිංචි නිවස හා වටපිටාව, ඉඩකඩම් යානවාහන, ඥ‌ාති වර්ගයා පිළිබඳව ද කේන්ද්‍රයේ සිව්වැන්න හෙළිදරව් කරයි.   


කෙනෙකුගේ කේන්ද්‍රයේ දෙවැන්න හා එකොළොස්වැන්න බලවත් වීමෙන් ක්ෂණිකව උපයාගත් මුදලින් චංචල නිශ්චල දේපළ මිලදී ගැනීමට වාසනාව ඇතත් කේන්ද්‍රයේ හතර වැනි කොටුව බලවත් වීමෙන් පරම්පරාවෙන් ලැබෙන දේපළවලටද හිමිකමක් ලැබේ. සුරක්ෂිත වේ. සිව්වැන්න බලවත් වීම හොඳ ඥ‌ාති සමූහයකට නෑකම් කියන්නට ද අවස්ථාව ලැබේ.   
අසල්වැසියන්ට ප්‍රියවේ. තමාගේ මව් උසස් ගතිගුණ හිමි අයෙක් වේ. ගේදොර වාසනාව හිමිවේ. වස්තු දේපළ නැති නාස්ති නොකරයි. නැන්දයි ලේළියි හට පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට මෙම කාරණා පොදුය.   


කර්ම විපාක ලෙස හෝ සංසාරගත පුරුදුවලින් හෝ අයහපත් ගති ලක්ෂණ අනුව හෝ නැන්දම්මා ලේළිය අතර මතභේද ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියකි. හද‌ාගත් ගෙපැල තුළ කොතරම් කාලයක් සැනසීමෙන් ඉන්න ලැබේද? මහලු මඩම්වල ගතකරන්න සිදුවේද, ඥ‌ාති සම්බන්ධතා බිඳ වැටේද, ගේදොර විකිණීමට, උගස් කිරීමට නඩු හබ පැටලීමට ඉඩ තිබේද? අනෙක් දරුවන්ට නිවසේ නිදහස සතුට අහිමි වේද? අසල්වැසි සම්බන්ධතා නැති වේද? පවුලේ සාමය බිඳ වැටේද? ආදී දහසකුත් ප්‍රශ්න දෙස චකිතයකින් බලන නැන්ද‌ා මාමලාද නිවසේ දෝෂ දර්ශනයට ලක්ව අසතුටින්, සණ්ඩු සරුවල් කරන ලේළිලාද සමාජයේ අඩුවක් නැත. අනුන් හදනවාට වඩා තමා තමාව හඳුනාගෙන කටයුතු කිරීම බොහෝ සමාජ ගැටලුවලට පිළියම් වේ. දුර්වලතා අවම කරගැනීමටත්, විශේෂතා සුවිශේෂී කරගැනීමටත් තෙවෙනි ඇස ලෙස ඔබට ඔබේ කේන්ද්‍ර සටහනද යම් උපකාරයක් වනු ඇත.   
කේන්ද්‍රයේ 4 වන කොටුවේ සඳු, සිකුරු, ගුරු යන සෞම්‍ය ග්‍රහයන් සුබව යෙදීම, 4 අධිපතියා බලවත් වීම හා සුබ රාශියක යෙදීම යහපත් ගතිගුණ, පාරම්පරික දේපළ, පැල්පතක වුවද සතුටින් සමගියෙන් ජීවත්වීමේ වාසනාව උද‌ාකරයි. ඥ‌ාති වර්ගයාට ප්‍රිය පුද්ගලයකු වෙයි.   


ඔබේ ලග්නයට අනුව 4 අධිපති රාශිය හා හිමි ග්‍රහයා පිළිවෙළින් මෙසේය.   


මේෂ ලග්නයට - කටක රාශිය - සඳු (ච)   
වෘෂභ ලග්නයට - සිංහ රාශිය - රවි   
මිථුන ලග්නයට - කන්‍යා රාශිය - බු   
කටක ලග්නයට - තුලා රාශිය - සිකුරු (ශු)   
සිංහ ලග්නයට - වෘශ්චික රාශිය - කුජ   
කන්‍යා ලග්නයට - ධනු රාශිය - ගුරු   
තුලා ලග්නයට - මකර රාශිය - ශනි   
වෘශ්චික ලග්නයට - කුම්භ රාශිය - ශනි   
ධනු ලග්නයට - මීන රාශිය - ගුරු   
මකර ලග්නයට - මේෂ රාශිය - කුජ   
කුම්භ ලග්නයට - වෘෂභ රාශිය - සිකුරු (ශු)   


ඔබේ ලග්නයට අනුව 4 අධිපති ග්‍රහයා හතරවැනි කොටුවේම පිහිටා ඇති නම් බලවත් වේ. 1, 2, 4, 5, 9, 10, 11 යන ​ෙකටුවල පිහිටීමද සුබය. උච්ච හෝ ස්ව ​ෙත්‍රව හංස, මාලවී, සස, භද්‍ර, රුචක යන පංච මහා පුරුෂ යෝගයක් ලෙස හතර වැන්නේ පිහිටීමද වඩාත් සුබ ඵල දෙයි. මෙහිදී කුජ බලවත් වී යෙදෙන රුචක යෝගය 4 වැන්නේ යෙදීම නිවාස දේපළ හොඳින් ලැබුණත් නිවස තුළ ඒකාධිපති පාලනයක් ගෙන යාමට උත්සාහ කරයි.   


කේන්ද්‍රයක කුජ 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයක යෙදීම කුජ දෝෂය ලෙස ලෝකයේ කවුරුත් දනිති. මෙයට ඔරොත්තු දෙන කේන්ද්‍රයක් තෝරාගත යුත්තේ කුජ ග්‍රහයා සටන්කාමී, වේගවත් පෘථිවියට සමාන ගතිගුණ ඇති ක්ෂණික තීන්දු තීරණ ගන්නා, ක්‍රියාශීලීත්වය වැඩි ග්‍රහ ලොව චණ්ඩියා බැවිනි. අනෙක් ග්‍රහයින් අට දෙනා මෙම කාරණාව සමග පටලවා නොගත යුතුයි.   


කේන්ද්‍රයක 7 වැන්න විවාහයට බලපාන එක් ස්ථානයක් පමණක් බැවින් 7 වැන්න ගැන පමණක් බලා විවාහය නොකළ යුතුය. චන්ද්‍රයා සිටින රාශියට වැඩි අවධානයක් යොමු කළ යුතුය. සඳු, සිකුරු කේන්ද්‍රයේ කොතැනක හෝ සුබට යෙදීම වාසනාවන්ත යුග දිවියකට හේතු වේ. රෝගී තත්ත්වයක් නැති නම් අරහත් ඵලය ලබා නැති නම් මානසිකත්වය හොඳින් පවතී නම් යහපත් අඹු දරුවන් සමග යුග දිවියකට බාධාවක් නැත.   


සොබාදහම සැකසී ඇත්තේ ඒ ආකාරයටය. ගින්දරත් පුළුනුත් එක්වූ තැන ඇවිළේ. එහෙත් පුළුං තෙත නම් ඇවිළීමට ජ්වලන උෂ්ණත්වයට පත්විය යුතුයි. මෙහිදී පිරිසිදු සිත හෙවත් යහපත් මානසිකත්වය ජ්වලන උෂ්ණත්වයට සමාන කළ හැක. සිතට අධිපති සඳු කේන්ද්‍රයක බලවත් නම් සිත අයාලේ නොයයි. මෙය ලෞකික, ලෝකෝත්තර දෙකටම පොදුය. යහපත් සිතුවිලි ඇති දෙදෙනකුගේ කැදැල්ල සොඳරු නොවේද? සඳු උච්ච හෝ ස්වක්ෂේත්‍ර වීම උසස් සිතුවිලි ඇති කරයි.   


සුබව යෙදුණු ද්වි, ත්‍රි චතුර් පංචම ග්‍රහ යෝගයන්ද 4 කොටුවේ යෙදීම පවුල එකට බැඳ තබයි. රැකී රක්ෂා සඳහා වුවත් ඈත්වීම ඉතා අඩුයි. සැමවිටම එක වහලක් යට දිවි ගෙවන්නට හැකිවේ. කොතැනක හිටියත් ආගිය තැන සැප ලැබේ. පවුලේ ඥ‌ාතීන්ට ඉතා හිතවත් වේ. පැල්පතක වුවද සිටු මැදුරක වුවද නිල නිවසක කුලී නිවසක වුවද පවුලේ සියලුදෙනා සතුටින් එකට ජීවත්වෙයි.   


සුබ ග්‍රහ දෘෂ්ටි වැටීම්, පරිවර්තන යෝගද සුබ ඵල වැඩි කරයි. කේන්ද්‍රයක දික්බල ග්‍රහයෝගද සුබ ඵල දෙයි. ලග්නයට බුධ හා ගුරු ද හතරවැන්නට සඳු හා සිකුරු ද හත්වැන්නට ශනි (සෙනසුරු) ද දස වැන්නට රවි හා අඟහරු (කුජ) දික් බලයි. දික්බල යනු ග්‍රහයන්ට වඩාත් බලවත් සුබ ඵල දෙන ස්ථාන ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඵලා ඵල ප්‍රකාශ කළ යුත්තේ මෙකී නොකී බොහෝ කාරණ සැලකිල්ලට ගෙනය. ජ්‍යෙතිෂය ඉගෙනීමට ද ඉසිවර නුවණක් අවශ්‍ය බව වරහමිහිර ආචාර්යවරයා කියා ඇත්තේ මේ නිසා විය යුතුය.   
නිවස තුළ සතුට බිඳවැටීමට පවුලේ අයගේ ආයුෂ හා ලෙඩ රෝග ද හේතුවේ. ලග්නාධිපති ග්‍රහයා, සඳු ග්‍රහයා බලවත් නම් 6, 8 යන රෝගස්ථාන හා මාරකස්ථානවල අසුබ ග්‍රහ පිහිටීම් නැති නම් පූර්ණ ආයුෂ හා නිරෝගී බවට පූර්ව ඉඟියකි.   


මේ කරුණු කොතෙක් සම්පූර්ණ වුවද නිවසේ වාස්තු දෝෂ, අමනුෂ්‍ය දෝෂ පවතී නම් එයද දියුණුවට සමගියට පැවැත්මට බාධාවකි. ගෙවල් කඩා බිඳ වෙනස් කිරීමට පෙර නිවසට, ඔබට බලපාන අමනුෂ්‍ය බලපෑම් අවම කර ගැනීමට ඔබට හැකිය. වතුපිටි පිරිසිදු කර අලංකාර කර හතර වටේටම තාප්ප බැඳ ගේට්ටු දමා ආරක්ෂක මුට්ටි වැළලුවාටම අමනුෂ්‍ය දෝෂවලින් බේරිය නොහැක.   


ඉතා සියුම් ශරීර වන ඔවුන්ට කෙස් රොදක ප්‍රමාණය ගමන් කිරීමට ප්‍රමාණවත්ය. ඔවුන්ගේ ආහාරය ඔබේ ශරීරයෙන් බැහැර වන සෙම්, සොටු, කොළ, මැරුණු සම් කොටස් (වියළි සම) ආදී මිශ්‍ර නාන, රෙදි සෝදන අපිරිසිදු ජලය හා මිශ්‍ර වූ පරිසරයට නිරාවරණය වූ ගන්ධයයි. එම නිසා ඔබේ නිවසේ ඉඳුල් වතුර, නාන රෙදි සෝදන වතුර වත්ත තුළ වළකට දමා වායු ගෝලයට මුසු නොවන ලෙස වසා තබන්න. කිසිවිටකත් පාරේ කානුවලට හෝ අන්සතු ඉඩම්වලට ගලා යාමට ඉඩ නොතබන්න.   


පරිසරයට විවෘතව අැති එම ගන්ධය ආහාරයට ගන්නා සියුම් ශරීර ඇති ඔවුහු එම ගන්ධය ඔස්සේ ඔබව හඳුනාගෙන ශරීරයටද බලපෑම් කිරීමට හැකියාව ඇත. සුව නොවන රෝග, ඇඟපත වේදනා, මානසික පීඩා, දියුණුව අඩුවීම, හදිසි කරදර, පවුලේ අය ඈත් වී හුදකලාවීම සිදුවිය හැක. තම වත්තෙන් පිටතට අප ජලය බැහැර නොකළ යුතු යැයි පරිසර නීති අතීතයේ සිටම සකසා ඇත්තේද පැරැන්නන් ලද දැනුමද සමග විය හැක.   


වැසි නැති සෑම විටම පොදු කාණු පද්ධති වියළීම, පිරිසිදුව තබාගැනීම ප්‍රදේශයටම යහපතක් වනු ඇත. මහලු අයත්, කුඩා දරුවනුත් සිටින නිවෙස් මේ ගැන වැඩිපුර සිතන්න. කුඩා දරුවන්ගේ ඇඳුම් අව්වේ වේළා කළුවර වැටීමට පෙර ගෙට ගන්නා සිරිත් අතීතයේ පැවතුණි. බෙර හඬ ඇසෙන විට, ආගමික කටයුතු හා යාගහෝමවලදී අසාමාන්‍ය හැසිරීම් ඇති අය ඔබ දැක ඇත.   


මෙහිදී වැදගත් වන්නේ මනස ශක්තිමත්ව පවත්වා ගැනීමයි. තමාගේ නිවසේ හා ගේට්ටුව දෙපස, ඉදිරිපිට, ගේට්ටුව ඉදිරිපිට සිට පාරේ අයට පෙනෙන දුර පවිත්‍රව වියළිව සුගන්ධවත්ව තබා ගැනීමෙන් දේව ආකර්ෂණය ඇති වේ. කිරි ඉතිරවීමේදී ඇති වන සුවඳට දෙවියෝ ප්‍රිය කරයි.   


අනුන්ට හදිහූනියම් නොකර, අනුන්ගේ වැට මායිම්, ඉඩම් අල්ලා නොගෙන ඊර්ෂ්‍යා කුහකකම් නොකර, අනුන්ගේ දේපළ අයිතිවාසිකම් උදුරා නොගෙන ඥ‌ාතීන්ට අසල්වැසියන්ට උපකාර කරමින් සාධාරණව ජීවත් වන විට නිවසටත් නිවසේ අයටත් වන උපද්‍රව වළකී. 

 
ග්‍රහයින්ගේ උෂ්ණ සීතල බව, ජීව බලය, දීප්තිය, පොළොවේ තද ගතිය ආදී ගුණාංග සලකා අධ්‍යනය පහසුව සඳහා ජ්‍යොතීර්වේදීන් ග්‍රහයන් පාප ග්‍රහයෝ හා සෞම්‍ය ග්‍රහයන් ලෙස බෙද‌ා ගත්තද සෞරග්‍රහ මණ්ඩලය තුළ එවැනි බෙදීමක් නැත. ඔබ සිතන ආකාරයේ පාප හෝ සෞම්‍ය තත්ත්වයක්ද එහි නැත. ඔබට ජීවය දෙන රවිද පාප ග්‍රහයකි. නැකැත් 27න් තුනක්ම නපුංසක ලිංග වේ. මෙය වරදවා වටහා ගන්නෝද වෙති. ​   


ජ්‍යොතිෂයේ පරිභාෂිත වචන මාලාව ඔබේ භාෂාව හා පටලවා නොගන්න. කේන්ද්‍රයට බිය නොවන්න. ග්‍රහ පූජා තැබීමට වඩා ග්‍රහ තරු අධ්‍යනය කර අන්‍යෙව අවබෝධය හා නව දැක්මක් තුළින් හා ආකල්පමය වෙනසක් තුළින් තම නිවස ජෝතිමත් කරගන්න. නව ආරම්භයකට මුල පුරන්න.   

 


ජ්‍යොතීර්වේදී   
සිරිනේරිස් අප්පුහාමි   
දැරණියගල