දඩබ්ම
පොලිස් නිල සුනඛයකුගේ වික්‍රමයක් '
විලේගොඩ ලියනගේ ජසින්තා ඥානතිලක මහත්මිය හල්ගස්තැන්න කොබවක බෝවින්න ගමේ පදිංචිව සිටි 76 හැවිරිදි වියේ පසුවූ ඉඩම් හිමි වැවිලිකාරියක වූවාය.
ඇයගේ එකම පුතා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ගොස් සිටින්නේය.
ඒ නිසා ජසින්තා මහත්මිය නිවසේ සිටින්නේ තනියමය.
ජසින්තා මහත්මියට අයත් රබර් ඉඩමක රබර් කිරි කැපීම සඳහා දමිල ජාතික කාන්තාවක් නිතිපතා පාහේ පැමිණියාය.
මේ දමිළ කාන්තාව වෙනදා මෙන් පසුගිය 24 වැනිදා හිමිදිරියේම ජසින්තා මහත්මියගේ නිවසට පැමිණියේ රබර් කිරි කැපීමට අවශ්‍ය ආම්පන්න රැගෙන යාමටය.
නිවසේ දොර විවෘත කර තිබෙනවා දුටු දමිළ කාන්තාව නෝනා නෝනා කියා කතා කළත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා අහල පහළ කිහිප දෙනෙකුට මේ බව කියා සිටියාය.
නිවසට පැමිණි කිහිප දෙනෙක් විපරම්කර බැලීමේදී අල්මාරි කබඩ් ඇර එ්වා අවුස්සා දමා තිබෙන අයුරු දැක ගැනීමට ලැබී ඇත.
තවදුරටත් විපරම්කර බැලීමේදී ජසින්තාගේ සිරුර ඇඳක් යට තිබෙනවා දැක ඒ බව බුලත්සිංහල පොලිසියට කතා කර දැනුම් දී තිබේ.
බුලත්සිංහල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගුණසේකර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කළේ අසල්වාසීන් කළ දැනුම්දීමට අනුවය. ඒ වනවිටත් ඇය මියගොස් සිටියාය.
ගෙදර දොරේ බඩු මුට්ටු අවුස්සා දමා ඇතත් වටිනා යමක් අතුරුදන් වී ඇති බවක් පොලිසියට සොයා ගැනීමට නොහැකි වී ඇත.
මෙය පොලිසිය නොමඟ යැවීමට සිතා සාහසිකයා යෙදූ උපක්‍රමයක් බව පොලිසිය සැක පහළ කළේය.
නිවසේ තැනින් තැන මිරිස් කුඩු ඉස තිබෙන අන්දම පොලිසියට දැකගැනීමට ලැබී තිබේ.
වයෝවෘද්ධ කාන්තාව මරා දැමූවේ කුමන අරමුණකින් කවුරුන් විසින් ද යන අබිරහස විසඳා ගැනීමට පොලිසිය විවිධ හෝඩුවාවන් ඔස්සේ පුළුල පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම වයෝවෘද්ධ කාන්තාව හා ඇයගේ සහෝදරයෙකු අතර කාලයක පටන් ඉඩමක් සම්බන්ධයෙන් නිතර ආරවුල් තිබී ඇති බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.
අවුරුදු 70ක් පමණ වූ වයසේ පසුවන ජසින්තාගේ මේ සහෝදරයා පදිංචිව සිටින්නේ ද ඊට යාබද නිවසකය.
දෙදෙනා අතර පවතින ආරවුල මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැකකළ පොලිසිය 70 හැවිරිදි සහෝදරයාගෙන් ප්‍රශ්න කළේය.
‘‘සර් මම අක්කා එක්ක ආරවුල් තිබුණ බව ඇත්ත. ඒත් මේක මම කළේ නැහැ කියා දිවුරලා කියනවා. අක්කාව මරා දමන්නට ඇත්තේ අපේ අයියා කියා සැක කරනවා” යැයි 70 හැවිරිදි සහෝදරයා පොලිසියේ ප්‍රශ්න කිරීම් හමුවේ කියා ඇතැයි කියන්නේ ඇඟට පතට නොදැනීය.
ඔහු එහෙම කිව්වාට පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී සර් පුළුවන්නම් මේ වැඩේ කළේ මම කියා ඔප්පු කර පෙන්වන්න. එහෙම ඔප්පු කළොත් මම මිනීමැරුම කළා කියා පිළිගන්නවා. පොලිස් බල්ලෙක් ගෙදරට ආවොත් හරි මගේ ඇඟිලි සලකුණු තිබිලා සොයා ගත්තොත් මම මේ මිනී මැරුම පිළිගන්නවා. එහෙම නැතිව මාව නිකම් බොරුවට අක්කාගේ මිනී මැරුමට පටලවන්න හදන්න එපා” යැයි පවසා ඇතැයි කියති.
70 හැවිරිදි සැකකරු මෙය පොලිසියට එක්තරා අන්දමකින් කළ අභියෝගයක් ද විය.
හොරණ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරියේ යොදවා සිටින පොලිස් නිල සුනඛ ඇල්පින් අපරාධය සිදුවූ ස්ථානයට කැඳවාගෙන ආවේ මේ අපරාධය කළ එකා නිශ්චිතව සාක්කි සහිතව හඳුනා ගැනීමටය.
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනවිරත්න මහතාගේ උපදෙස් මත පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබූවේ පොලිස් කොස්තාපල් යූ.පී. ශ්‍රීනාත් (88309) මහතා විසිනි.
වයෝවෘද්ධ කාන්තාවගේ ගෙල ඔතා තිබූ ඇඳ ඇතිරිල්ලට පොලිස් නිල සුනඛයාව ඉවකිරීමට පොලිස් කොස්තාපල් ශ්‍රීනාත් සැලැස්වීමෙන් පසු සුනඛයා කෙළින්ම ගියේ මුලින් කී එම කාන්තාවගේ 70 හැවිරිදි සහෝදරයාගේ ගෙදරටය.
පොලිස් නිල සුනඛ ඇල්පින්ට යළිත් වරක් එම ඇඳ ඇතිරිල්ල ඉවකිරීමට සලස්වනු ලැබූ අතර ඒ අවස්ථාවේදීත් සුනඛයා ගියේ ඇයගේ ඒ සහෝදරයාගේ ගෙදර සොයාගෙනය.
ඒ නිවස පිහිටා ඇත්තේ කාන්තාවගේ නිවසේ සිට මීටර් 50ක පමණ දුරකිනි.
වයෝවෘද්ධ කාන්තාව පදිංචිව සිටි නිවසේ මුළුතැන්ගෙයි ඇති සින්ක් එක ළඟ මිරිස් කුඩු තැවරී තිබුණ පොලිතින් කවරයක් තිබී පොලිසිය සොයා ගෙන තිබිණි.
මෙම පොලිතින් කවරයටද පොලිස් නිල සුනඛයාට ඉවකිරීමට සැලැස්වීමෙන් පසු ඌ තුන් වැනි වරට ද ගියේ ඒ වයෝවෘද්ධ කාන්තාවගේ 70 හැවිරිදි සහෝදරයාගේ නිවසටමය.
වයෝවෘද්ධ කාන්තාවගේ ඝාතනයට මොහුගේ සම්බන්ධතාවක් තිබෙන බව මේ අනුව සාධක සහිතව ඔප්පු වූ පසු පොලිසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් නිල සුනඛ කොට්ඨාසය සැරයන් උඩුගම (27131) මහතාගේ සහාය ද මේ සඳහා ලැබී තිබේ.
පොලිස් නිල සුනඛ ඇල්පින් මීට පෙර අබිරහස් ඝාතන හයකට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝඩුවාවන් සපයා ඇත.
“දැන් මොකද තමුන් කියන්නේ. වරද පිළිගන්නවාද?” පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර විමසා ඇති බව පැවසේ.
“ඔව් සර්. මම තමා මේ අපරාධය කළේ. අක්කාගෙන් හරිම කරදරයි. ඉඩමකට ආරවුලක් අපි දෙන්නා අතර තියෙනවා. මිරිස් කුඩු ඉස්සාම පොලිස් බල්ලන්ට මිරිස් සැරට ඉවගන්න බැහැ කියා මම අසා තිබෙනවා. අන්න ඒ නිසා තමා ගේ හැම තැනකම මිරිස් කුඩු ඉස්සේ යැයි සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර තිබෙන බව පොලිසිය කියයි.
සිය වැඩිමල් සහෝදරයාව මේ මිනීමැරීමට කොටුකර දීමට සැකකරු මුලින්ම උත්සාහ කළත් ඒ වැඩේ ද හරි ගියේ නැත.
පොලිසියට ද අභියෝගයක් කළ සැබෑ අපරාධකාරයා අවසානයේ පොලිසියට කොටුකර ගැනීමට හැකි විය.
ජසින්තා මහත්මිය නිවසේ ඝාතනය වූ දින (23) රාත්‍රියේ ඇමෙරිකාවේ සිටින පුතා දුරකතන ඇමතුමක් ලබා දී ඇත.
ඒ රාත්‍රී 7.45ට පමණය.
මේ බව පොලිසිය හෙළිකර ගත්තේ ඇයගේ ජංගම දුරකතනය පරීක්ෂා කර බැලීමේදීය.
ජසින්තා මහත්මිය මරා දමා ඇත්තේ එදිනම රාත්‍රියේ බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
ඇමෙරිකාවේ සිට ඇමතුමක් ලබාදුන් පුතා ද සමග කතාබස් කර රූපවාහිනිය නරඹමින් සිටිය දී ඇය මෙසේ ඝාතනය කර ඇති බවත් ඝාතනය වීමට පෙර දෙදෙනා අතර පොර බැදීමක් සිදුවී ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ජසින්තා මහත්මියගේ සිරුරේ සීරීම් තුවාල ඇති වී ඇත්තේ ඒ පොර බැදීම නිසා බව පොලිසිය කියයි.
පොලිසිය පවසනුයේ ඒ සීරීම් තුවාල සැකකරුගේ නිය පහර හේතුවෙන් හටගත් ඒවා යැයි කියාය.
හොරණ මූලික රෝහලේ දී අධිකරණ විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා විසින් 25 වැනිදා සැකකරු පරීක්ෂා කර බැලීමේ දී ඔහුගේ නිය පොතු අස්සේ සියුම් සම් කොටස් කිහිපයක් සොයා ගත් බව පොලිසිය කීය.
ඒ සියුම් සම්කොටස් වයෝවෘද්ධ කාන්තාවගේ බව පොලිසිය පවසයි.
බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ විශේෂ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගුණසේකර සහ උපපොලිස් පරීක්ෂක උපුල් චමින්ද යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය