25ට පෙර ගල් අඟුරු නාවොත් පැය 7ක විදුලි කප්පාදුවක්?


දයාසීලි ලියනගේ

ලබන මස 25 වැනි දිනට පෙර ගල් අඟුරු ලබාගැනීමට නොහැකි වුවහොත් දිනකට පැය 7ක පමණ කාලයක් විදුලිය කපාහැරීමට සිදුවන බව වාර්තා වේ.

ජලය හා ඉන්ධන ලැබෙන ප්‍රමාණය මත මෙලෙස විදුලිය කපා හරින කාලය වෙනස්වීමට ඉඩ තිබෙන බවද වාර්තා වේ.


මේ තත්ත්වය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ, ගල් අඟුරු නොලැබුණොත් නොරොච්චෝල තාප බලාගාරය මුළුමනින්ම වසා දැමීමට සිදුවන අතර එමගින් මෙගා වොට් 900 ක ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට අහිමිවීමෙන් බරපතළ අර්බුදයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවයි.  


ගල් අඟුරු ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවා තෝරාගන්නා ලද සැපයුම්කරුගෙන් ගල් අඟුරු ලබාගැනීම නතර කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද පෙත්සම නිසා එම සැපයුම්කරුගෙන් ලැබිය යුතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ලංසු ඇපකරය (big bond) ගෙවීමත් ඔවුන් ප්‍රතික්ෂේප කර ඇතැයිද රත්නායක මහතා කීය.  


ජාතික විදුලි පද්ධතියට නොරොච්චෝලෙන් සියයට 40 ක විදුලියක් සැපයූ අතර, ඔක්තෝබර් 25න් පසු එම මුළු ප්‍රමාණයම අහිමිවීමට ඉඩ ඇති බවද ඔහු කීය.  


ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් පවත්නා ගැටලු හා ජල විදුලිය එකකාරව ලබාගැනීමට නොහැකිවීමේ හේතුව හා ගල් අඟුරුවලින් විදුලිය ලබාගැනීමට නොහැකිවීම මත විදුලිය කපා හරින කාලය නියමාකාරයෙන් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු කීය.  


ජල විදුලිය සියයට 85ක ප්‍රමාණයක් දැනට ලබාගත්තත් ඉදිරියේදී එය අඩුවන බවද ඒ මහතා පැවසීය.