(නිශාන්ත කුමාර බණ්ඩාර)
දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබිලි යකඩ ඉතා අඩු ටෙන්ඩරයකට ලබාදීමෙන් දෙපාර්තමේන්තුවට මිලියන ගණනක අලාභයක් සිදුවන බව දුම්රිය එංජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.
වෙළෙඳපොළේ යකඩ කිලෝග්රෑමයක් අද වනවිට රුපියල් 110 ක් වන අතර රුපියල් 45කට යකඩ කිලෝග්රෑමයක් මිලදී ගන්නා දේශීය ආයතනයකට ලබාදීමට කටයුතු කර ඇතැයි ද ඔහු කීය.
තවත් සමාගමක් රුපියල් 65කට යකඩ කිලෝග්රෑමයක් මිලදී ගැනීමට ටෙන්ඩරයක් ඉදිරිපත් කර තිබේ.
එහෙත් එම සමාගමට නොදී රුපියල් 45ක් වැනි මුදලකට ඉදිරිපත් කර ඇති ටෙන්ඩරයට අනුමැතිය දීමෙන් මෙසේ විශාල මුදලක් දෙපාර්තමේන්තුවට අහිමිවන බව ඔහු පෙන්වා දෙයි.