අතරමැදි සියලු දීමනා අත්හිටුවන්න ආණ්ඩුකාර හා පළාත් ලේකම්වරුන්ට නියෝග


දයාසීලි ලියනගේ   

අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද දීමනා හැර ආණ්ඩුකාරවරුන්ගේ හා වෙනත් බලධාරීන්ගේ අනුමැතිය මත ගෙවනු ලබන සියලු දීමනා අත්හිටුවන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සියලු පළාත් ලේකම්වරුන් වෙත දැනුම්දී ඇත.

පළාත් සභා ආණ්ඩුකාරවරුන් හා ප්‍රධාන නිලධාරීන්ට මසකට ලබාදිය යුතු ඉන්ධන ලීටර් ප්‍රමාණය ලීටර් 300 දක්වා වැඩි කිරීමට බොහොමයක් පළාත් සභාවලින් කටයුතු කර ඇති බව සඳහන් වේ.   


උද්ධමනය හේතුවෙන් දැනට රට මුහුණ පා ඇති ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය වියදම් දැඩි පාලනයකින් මෙහෙයවීමට සිදුවී ඇති නිසා අනුමැතිය ලබා නොදුන් දීමනා ගෙවීම අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා දන්වා ඇත.   


පළාත් රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගනිමින් අනවශ්‍ය වියදම් කපා හැරීමටත් සිදුකළ යුතු අත්‍යවශය ගෙවීම් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකරන ලෙසටත් ලේකම්වරයා දන්වා ඇත.