අධ්‍යාපන පරිපාලනයේ 52 ක් වැඩිදුර පුහුණුවට එංගලන්තයට


වියදම එක් අයකුට මිලියන 8 යි

(උපුල් වික්‍රමසිංහ)   

එක අයෙකුට රුපියල් මිලියන 8 ක මුදලක් වැය කරමින් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 52 දෙනෙකු පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා එක්සත් රාජධානියට යැවීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   

අවස්ථා දෙකකදී මේ පිරිස පශ්චාත් උපාධි හැදෑරීම සඳහා මෙලෙස දිවයිනෙන් පිටත්වීමට නියමිත බව පැවසෙන අතර ඒ අනුව පළමු අදියර යටතේ 16 දෙනෙකුද දෙවැනි අදියර යටතේ ඉතිරි 36 දෙනාද තෝරාගෙන ඇති බවට එම ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් දැන ගැනීමට ලැබෙයි. 

 
මෙම පශ්චාත් උපාධි වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මීට පෙර ගෙන එන ලද යෝජනා කීපයක් හිටපු අධ්‍යාපන ඇමැතිවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා නොමග යවමින් මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට ඉහළ නිලධාරීන් පිරිසක් කටයුතු කරන බවත් මේ ගැන කරුණු දක්වමින් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිපියක් යොමුකර ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නැති බවත් වාර්තා වෙයි.   


මේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රභාත් අත්තනායක මහතාගෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කොවිඩ් 19 වසංගතය හමුවේ රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටී ඇති තත්ත්වයක හා ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට සාධනීය විසඳුම් නොලැබී ඇති පසුබිමක මේ ආකාරයේ පශ්චාත් උපාධි වැඩසටහනක් සඳහා මහජන මුදල් වැය කිරීම අපරාධයක් බවත් ඒ සඳහා සුදුසුකම් නැති අය මෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයේ අය පමණක් තෝරාගෙන තිබීම ගැටලු සහගත බවත් ඔහු පෙන්වා දෙයි.   


මේ පිළිබඳව විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හා මෙම වැඩසටහන මෙහෙයවීමේ කටයුතු භාරව සිටින මදුරවේහල්ල මහත්මිය දුරකථනය ඔස්ස් සම්බන්ධකර ගැනීමට දරන ලද ප්‍රයත්නය අසාර්ථක විය.