භාණ්ඩාගාර ලේකම් ආටිගල රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දන්වයි
(දයාසීලි ලියනගේ)
අනුමත සීමාව ඉක්මවා වියදම් කරනු ලබන මුදල් නිරවුල් කිරීමට නොහැකි වූ විට භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබුණු බවට නිදහසට කරුණු ඉදිරිපත් නොකිරීමට වගබලා ගත යුතු යැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
වියදම් පාලනය කිරීම මූලික අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති බැවින් නිශ්චිතව හඳුනාගන්නා ලද අරමුණු වෙනුවෙන් පමණක් මුදල් වියදම් කරන බව තහවුරු කරගත යුතු බවද භාණ්ඩාගාර ලේකම්වරයා චක්රලේඛයකින් උපදෙස් ලබාදී ඇත.
ලබන වර්ෂය සඳහා වන අයවැය ක්‍රියාත්මක කිරීමේදී කාර්තුමය පදනමින් මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති නිසා සෑම රාජ්‍ය ආයතනයක්ම සිය වියදම් කාර්තුමය වශයෙන් සැලසුම් කර ගැනීමට කටයුතු කළ යුතු බවද එහි සඳහන් වේ.
දැනට කෙරීගෙන යන වැඩවලට අදාළව වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාවන් තුළ වැඩ නිමකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර නව වැඩසටහන් හෝ නව ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන නොලැබෙන බවද සඳහන් කර ඇත.