අමතර මුදල් ඉල්ලන්න එපා කීවත් මහා භාණ්ඩාගාරයට දිගටම ​ඉල්ලීම්


රජයේ වියදම් තවත් සීමා කරයි

(අජන්ත කුමාර අගලකඩ)   

මේ වසර සඳහා අයවැයෙන් වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව වෙනත් කිසිදු කටයුත්තක් සඳහා ප්‍රතිපාදන නොඉල්ලන ලෙස දැනුම් දී තිබෙන නමුත්, විවිධ ව්‍යාපෘති සඳහා අමතර ප්‍රතිපාදන ඉල්ලමින් මහා භාණ්ඩාගාරයටත්, කැබිනට් මණ්ඩලයටත් යෝජනා ඉදිරිපත්වී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

අයවැයේ කිසිදු සඳහනක් නොමැති නව කාර්යයන් සඳහා ප්‍රතිපාදන ඉල්ලමින් අමාත්‍ය මණ්ඩල සංදේශ පවා ඉදිරිපත්වී ඇති බව මුදල් අමාත්‍යංශය කියයි.


එසේ වුවද, ඒ කිසිදු ව්‍යාපෘතියකට මේ වසරේ අමතර ප්‍රතිපාදන නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයටත්, සියලු අමාත්‍යංශවලටත් දැනුම් දී ඇත. 

 
මේ අතර, රාජ්‍ය ආයතනවල ඉන්ධන, දුරකථන, විදුලිය, අතිකාල දීමනා ආදිය සීමා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛ අකුරටම ක්‍රියාත්මක කරන්නැයි ද මුදල් අමාත්‍යංශය සියලුම ඇමැතිවරුන්ට සහ අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම්දී ඇත.