අමාත්‍යාංශ ගොඩනැගිල්ලකට වැඩිපුර ගෙවීමෙන් කෝටි 2ක පාඩුවක්


විගණනයෙන් පරීක්ෂණයක්

(සුජිත් හේවාජුලිගේ)   

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී ගොඩනැගිලි හිමිකරුට වැඩිපුර මුදල් ගෙවීම නිසා රජයට රුපියල් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එවකට අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව එම අමාත්‍යාංශය සහ ඒ යටතේ වන සියලු ආයතන එකම ස්ථානයකට ගෙන යෑමේ අරමුණින් මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇතැයි පැවසෙන්නේ 2016 වර්ෂයේදීය.   
ගොඩනැගිලි හිමිකරු සමග සාකච්ඡා කිරීමකින් තොරව ඔහු ඉදිරිපත් කළ ලංසු වටිනාකමට ගොඩනැගිල්ල කුලියට ගැනීම නිසා මෙම පාඩුව සිදුවී ඇති බව එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.   


මෙම ගොඩනැගිල්ල මාසයකට රුපියල් පනස් ලක්ෂ අසූ නවදහස් පන්සියයකට කුලියට ගැනීම සඳහා ගොඩනැගිලි හිමිකරු සමග මුලින් ගිවිසුමකට එළඹ තිබුණු බවත් රජයේ තක්සේරුකරු ඒ ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් ලක්ෂ 30ක් ලෙස තක්සේරු කර තිබුණ ද ඒ පිළිබඳ නිශ්චිත සාකච්ඡාවකින් තොරව මාසයකට රුපියල් අට ලක්ෂ අසූ නව දහස් පන්සියයක් බැගින් වසර දෙකක් සඳහා රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂ හතළිස් අට දහසක මුදලක් වැඩිපුර ගෙවා ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.   


හිතුමතේ කටයුතු කිරීම නිසා රජයට මෙම විශාල පාඩුව සිදුවූ බව විගණන නිලධාරීහු පවසති. පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේ දී ද විශාල මූල්‍යමය පාඩුවක් සිදුවූ බව මෙයට පෙර අනාවරණය විය.