අයි.එම්.එෆ් පළමු වාරිකය ගන්න ආයතන 39 ක් ප්‍රතිව්‍යූහගතකරණයට


දයාසීලි ලියනගේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 290ක මුදලක් කොටස් වශයෙන් ලබාදීමට එකඟතාව දක්වා ඇතත්, එම මුදල්වල පළමු කොටස ලබා ගැනීම සඳහා රාජ්‍ය ආයතන 39ක් ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇති බව දැනගන්නට ඇත.  

මෙම ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමට නියමිතය.  


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද කොන්දේසි අතර වූ දූෂණ හා වංචාවන් අවම කිරීම, දේශපාලන ස්ථාවර බව, දේශීය හා විදේශීය ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීම, දුගී දුප්පත් ජනතාවට සහන සැලසීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.  


මේ වන විට ශ්‍රී ලංකාව පුද්ගලයන් 2500 කින් හා ආයතන 117 කින් ණය ලබාගෙන ඇති අතර රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි 5000ක් ණය ලබාගෙන ඇත.  


මේ සියලු කොන්දේසි ඉටු නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වූ මුදලින් කොටසක්වත් ලබා ගැනීම දුෂ්කර වනු ඇතැයි ඔහු කීය.  


මුල් කොටස වශයෙන් ලැබීමට නියමිත මුදල ඩොලර් මිලියන 350 බව ද දැනගන්නට ඇත.