අරගලය අතරතුර ජනපති මැදුරේ වටිනා චිත්‍ර 39ක් අතුරුදන්


සංරක්ෂණ කටයුතුවලදී තොරතුරු හෙළිවේ

 

සුජිත් හේවාජුලිගේ

ජනාධිපති මන්දිරයේ තිබූ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39ක් අරගලය අතරතුර අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණය වී ඇත. 

මේ ​තොරතුරු අනාවරණය වී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගිය දින කිහිපයේදී කළ කරුණු සොයා බැලීමකදීය. 


මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ චිත්‍ර 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර, එහි නිලධාරීන් පිරිසක් එම මන්දිරයට ගොස් සංරක්ෂණයට අදාළ මූලික කටයුතුවල මේ දිනවල නිරතව සිටින බව දැනගන්නට ඇත. 


සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (රසායන සංරක්ෂණ) ගීතානි කුරුප්පුආරච්චි මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ, සිතුවම්වල හායන තත්ත්වයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සංරක්ෂණය සම්බන්ධයෙන් මූලික රෙකමදාරු වාර්තාවක් පිළියෙළ කිරීමට කටයුතු කරගෙන යන බවයි. 
මෙම වාර්තාව ජනවාරි මාසයේදී බාරදීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය. ජනාධිපති මන්දිරයේ තිබූ වටිනාම චිත්‍ර දෙකට හානි සිදුව ඇති බවත්, ඉන් එක් චිත්‍රයක රාමුවකට හානි වී අනෙක් චිත්‍රය හිල්වී ඇති බවත් කුරුප්පුආරච්චි මහත්මිය කීවාය. 


මෙයට අමතරව අත්සන් යෙදූ චිත්‍ර හතරක්ද සොයා ගැනුණු බව ඇය වැඩිදුරටත් පැවසුවාය. 


මේ අතර ජනාධිපති මන්දිරයේ සියලු දේපළවලට අරගලය අවස්ථාවේදී සිදුවූ හානි සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට සකස් කර අවසන්ව අැතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය. 


එම වාර්තාව ලබන සතියේදී ජනාධිපතිවරයාට බාර දීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.