අර්බුදය විසඳීමට දෙස් විදෙස් විශේෂඥයන් පිරිසකගේ සහාය


(සුජිත් හේවාජුලිගේ)  

රටේ පවතින ව්‍යවස්ථාදායක සහ ආර්ථික අර්බුදය විසදීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන් පිරිසක්ගේ ද (දේශපාලන සහ ව්‍යවස්ථාදායක) සහාය සහ උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙයට අමතරව මෙවැනි අර්බුදවලදී වෙනත් රටවල් විසඳුම් ලබාගත් ආකාරය සම්බන්ධයෙන් ද මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.  


ඒ සම්බන්ධයෙන් වූ ග්‍රන්ථ කිහිපයක් ද මේ දිනවල පරිශීලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.  


එසේම විශ්වවිද්‍යාලවල දේශපාලන හා ආර්ථික විද්‍යා පිළිබඳ ආචාර්ය, මහාචාර්යවරුන් කිහිප දෙනකුගේ ද සහාය දැනටමත් ලබාගෙන ඇත.  
පවතින අර්බුදය විසඳීම සඳහා විවිධ පක්ෂවලින් ඉදිරිපත් වී ඇති යෝජනා කිහිපයක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී ඉදිරිපත් වී තිබූ අතර ඒ යෝජනා සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.  


මේ කරුණු සහ යෝජනා අධ්‍යයනය කිරීමෙන් පසු පැහැදිලි විසඳුමකට පැමිණීමට හැකි වනු ඇතැයිද කතානායකවරයා සඳහන් කළේය.  


රටේ පවතින ආහාර අර්බුදය ඉදිරියේ දී තවදුරටත් උග්‍ර වනු ඇති බවත් එය උග්‍ර වන්නේ ද නැතහොත් පාලනය වන්නේ ද යන කාරණය තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ හැසිරීම මත බවත් අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.