අවසන් මොහොතේ ඡන්දය කල් යයි


  • දේශපාලකයන්ට ආරක්ෂාව නෑ
  • ඡන්දයේ අධික වැය බර දරන්න බෑ

ප්‍රේමකීර්ති රණතුංග   

හේතු කිහිපයක් නිසාවෙන් පළාත් පාලන මැතිවරණය ලබන වසරේදී නොපැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

මැතිවරණ ජනහමු සඳහා සහභාගි වන ආණ්ඩු පක්ෂ හා විපක්ෂ දේශපාලන ප්‍රධානීන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට නොහැකිවීම, මැතිවරණය සඳහා වැයවන අධික මුදල සැපයීමට මේ මොහොතේ රජයට නොහැකිවීම ආදී හේතු මේ සඳහා බලපා ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය. එම ඇමැතිවරයා සඳහන් කළේ ගෝල්ෆේස් අරගලය සමයේ දේශපාලකයන්ට එරෙහිව මතුවූ ප්‍රචණ්ඩ මතවාදය තවමත් ඇතැම් පුද්ගලයන් තුළ පවතින බවත් ඒ හේතුවෙන් ජනහමු සඳහා සහභාගිවීමට ප්‍රබල දේශපාලකයන්ට අපහසු තත්ත්වයක් උද්ගතව ඇති බවය. 


රජයේ එදිනෙදා වියදම් සපයා ගැනීමටවත් මුදල් ප්‍රතිපාදන නොමැති අතර මැතිවරණයකට අතිවිශාල වැය බර දැරීමට මේ මොහොතේ රටට නොහැකි බවද ඔහු කීය.   
ඒ නිසා නාමයෝජනා කැඳවීමෙන් පසු මැතිවරණය කල් දැමෙනු ඇතැයි එම ඇමැතිවරයා පැවැසීය. මෙයට පෙර 1987-89 භීෂණ සමයේද පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවා තිබියදී එය කල් දමනු ලැබූ අතර යළි 1991 දී පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ අලුතෙන්ම නාමයෝජනා කැඳවීමෙන් පසුවය.