ආණ්ඩුවෙන් මන්ත්‍රීන් ගලවන මෙහෙයුමක්


(අජන්ත කුමාර අගලකඩ)  

ආණ්ඩුව සමග කලකිරී සිටින මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කරගෙන වෙනම බලවේගයක් ගොඩනැගීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


අමාත්‍ය ධූරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඊට මූලිකත්වය ගෙන සිටින අතර, ඒ සඳහා එක්තරා ප්‍රසිද්ධ හිමිනමකගේ ද සහය ලැබී ඇතැයි දැනගන්නට තිබේ.

තනතුරු නොලැබීම සහ සංවර්ධන කටයුතු සඳහා සම්බන්ධ කර නොගැනීම ආදී කරුණු මත මෙන්ම, ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරී සිටින ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමඟ මේ පිරිස සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.


ආණ්ඩුවට බහුතර බලය නැති කරන බව හිටපු ඇමැති  විමල් වීරවංශ මහතා ඉකුත් දා මහනුවරදී ද මාධ්‍ය  හමුවේ ප්‍රකාශ කළේය. මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමට සහභාගී නොවී, එදින පාර්ලිමේන්තුවේ රැඳී සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද වාර්තා වී ඇතැයි දැනගන්නට ඇත.