ආණ්ඩුවේ කන්තෝරුවේ ‘අයිස් කාරයන්’ හදන ප්‍රධානීන්ට දඬුවම්


(සුජිත් ​හේවාජුලිගේ)   

රාජ්‍ය සේවයේ නියුතු සේවක සේවිකාවන්ගෙන් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර බොහෝ අවස්ථාවල නිකරුණේ කාලය ගත කරන බව (අයිස් ගැසීම) සමීක්ෂණයකදී පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙලෙස සිය රාජකාරියට දායකත්වය නොදක්වා නිද්‍රාශීලීව කටයුතු කරන පිරිස් හඳුනා ගෙන එම තත්ත්වය වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.   
ආයතන ප්‍රධානීන්ට එහිදී විශේෂ වගකීම් පැවරීමට ද එම වගකීම් ඉටු නොකරන ප්‍රධානීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ද මෙහිදී කටයුතු කෙරෙනු ඇත.   


ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියලුම රාජ්‍ය සේවකයන් සිය රාජකාරි සඳහා සක්‍රීයව දායක කර ගැනීම වැදගත් බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.   


මේ ආකාරයට නිකරුණේ නිද්‍රාශීලී ලෙස කටයුතු කිරීම සඳහා සමහර ආයතනවල ව්‍යුහාත්මකවද පරිසරය සැකසී ඇති බවත් එවැනි ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදි පුළුල්ව සොයාබැලීමක් කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.   


සේවකයන් රාජකාරි කටයුතු සඳහා උපරිමයෙන් දායක කර ගැනීම ආයතන ප්‍රධානියාගේ වගකීමක් විය යුතු බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.   


කෑම බිම අනුභව කර සහෝදර සේවකයන් සමග හෝ සිය පරිගණකය හෝ ජංගම දුරකථනය යොදාගෙන විවිධ ක්‍රීඩාවල නිරත වී නිකරුණේ කාලය ගත කර කල් මරා නිවෙස්වලට යන රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් බොහෝ ආයතනවල සිටින බව සොයාගෙන ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.