(අජන්ත කුමාර අගලකඩ)
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති රට ගොඩගැනීම සඳහා වන විකල්ප වැඩපිළිවෙළක් රට හමුවේ තැබීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත.
එය ලබන මස 2 වැනිදා කොළඹදී පැවැත්වෙන උත්සවයකදී එළිදැක්වීමට කටයුතු යොදා ඇතැයි එම පක්ෂයක නායකයෙක් සඳහන් කළේය.
එම විකල්ප වැඩපිළිවෙළ සකස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දස දෙනාගේ සහභාගිත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදී අනිද්දා (15) පැවැත්වීමට නියමිතය.
එහිදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙන බව ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක ඇමැති උදය ගම්මන්පිල, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමැති වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස්, අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම යෝජනාවලිය සකස් කෙරේ.
ඩොලර් අර්බුදය, ඉන්ධන අර්බුදය, විදුලිය අර්බුදය, ආර්ථික අර්බුදය ආදී අර්බුද රැසකට රට මුහුණදී තිබෙන මේ අවස්ථාවේ එය විවේචනය කිරීම වෙනුවට ඒ සඳහා විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බවද පක්ෂ නායකයෙක් සඳහන් කළේය.
ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත්වන යෝජනා සාකච්ඡා කර මෙම විකල්ප වැඩපිළිවෙළ සකස් කරන බවද හෙතෙම සඳහන් කළේය. එය රජයටත්, රටටත් ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.