විගණනයෙන් විමර්ශනයක්
නිමන්ති රණසිංහ
ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇමරිකාවේ තේ වෙළෙඳ ප්‍රදර්ශනයේ, ප්‍රදර්ශන කුටි වෙන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ඇමරිකාවේදී 2020 වර්ෂයේ ජුනි මස 10 සහ 11 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක තේ වෙළෙඳ ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි වෙන් කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 ජනවාරි 8 වැනිදා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර පෞද්ගලික ආයතනයක බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ හතළිස් හතරකට වැඩි මුදලක් ප්‍රේෂණය කර තිබූ බවත් ගෝලීය කොරෝනා තත්වය හේතුවෙන් ප්‍රදර්ශනය නොපැවැත්වීමට ප්‍රදර්ශන කමිටුව තීරණය කිරීම නිසා මුළු මුදලම නොගෙවා 2021 ජූලි මස 14 සහ 16 දිනයන්හිදී පැවැත්වීමට නියමිත ලෝක තේ වෙළෙඳ ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රදර්ශන කුටි වෙන් කරවා ගැනීමට බැර කරන ලෙස මණ්ඩලය ඉහත ආයතනයට දැනුම්දී තිබූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.
එසේ තිබියදී මෙම අත්තිකාරම් මුදල 2020 වර්ෂයේ වියදමක් වශයෙන් ගිණුම් ගත කර තිබූ බව විගණන අංශ පවසයි.
මෙම වියදම තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය ලදුපත් විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබූ බවද විගණන වාර්තාව සඳහන් කරයි.
මේ අතර ප්‍රධාන කාර්යාලයේ තේ අලෙවිසැලෙහි අලෙවි කරනු ලබන තේ පාරිභෝගිකයන්ට නිකුත් කිරීම සඳහා බහාලන කුඩා කවර තිස් දාහක් සම්බන්ධයෙන් නියමිත ආකාරයෙන් තොග සටහන් පවත්වාගෙන යෑම සිදුවී නොතිබූ බව විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ 2020 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තා වේය.