ඇමැති ඥාතීන් පිස්සු නැටුවොත් ඇමැතිගේ පට්ටම ගලවයි


ඇමැති ඥාතීන් ගැන සොයන්න බුද්ධිමෙහෙයුමක්

(සුජිත් හේවාජුලිගේ)  

මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ළඟම ඥාතීන් වාහන ඇතුළු රජයේ දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් පහරදීම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවල යෙදුණු බවට තහවුරු වුවහොත් අදාළ අමාත්‍යවරයාගේ ඇමැති ධුරය ඒ මොහොතේම ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන ඇත.

මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ඥාතීන් වාහන හෝ රජයේ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් විවිධ නීති විරෝධී කටයුතුවල යෙදීමේ සිද්ධීන් 34ක් පසුගිය වසර දෙකේදී වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.  
රජයේ වාහන හෝ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරන මැති ඇමැතිවරුන්ගේ පුතුන්, බිරින්දෑවරුන් හෝ පවුල්වල ඥාතීන් පිළිබඳව වහාම තොරතුරු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජ​යේ බුද්ධි අංශවලට දැනටමත් දැනුම්දී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.  
රජයේ වාහන හෝ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරන මැති ඇමැතිවරුන්ගේ ඥාතීන් 16 දෙනකු පිළිබඳව බුද්ධි අංශ රජයට දැනටමත් කරුණු වාර්තා කර ඇතැයි දැනගන්නට ඇත.  
රජයේ වාහන හෝ වෙනත් දේපළ ඒ ආකාරයට පාවිච්චි කරන බව තහවුරු වුවහොත් අදාළ මැති ඇමැතිවරුන්ට මුලින්ම ඒ පිළිබඳව දැනුම්දීමට පියවර ගන්නා බව රජයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


මෙවැනි ආක්‍රමිකතා සිදුවන්නේ නම් වහාම ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ටද දැනුම්දී ඇත.  


සිය පුත්‍රයා ඇතුළු කණ්ඩායමක් රජයේ වාහන දෙකක් රැගෙන ගොස් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහර දෙන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා එම අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය. මේ ඉල්ලා අස්වීම සිදුවූයේ ජනාධිපතිවරයා ඔහු කැඳවා එම සිද්ධිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.