ප්‍රේමකීර්ති රණතුංග
ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ඉන්දු - ශ්‍රී ලංකා වරණීය නිදහස් වෙෙළඳ ගිවිසුම හෙවත් ‘එක්ටා’ ගිවිසුම අත්සන් කිරීමට දෙපාර්ශ්වය තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
චීනය, ඉන්දියාව සහ වෙනත් රටවලින් ශ්‍රී ලංකා රජය ලබාගෙන ඇති ණය ගෙවීම පැහැර හැර තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ ගෙවීමට ඇති ණය සඳහා ඒ ඒ රටවල් සමග සාකච්ඡා කර ප්‍රතිව්‍යුහ ගත කිරීමක් සිදු කරන ලෙසය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය වාරිකයක් හෝ ලැබෙන්නේ නැත. මේ නිසා චීනය හා ඉන්දියාව සමග රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අරඹා තිබෙන අතර ‘එක්ටා’ හෙවත් නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ.
ඒ අනුව නොබෝ කලකින් ‘එක්ටා’ ගිවිසුම අත්සන් කිරීමේ ඉහළ මට්ටමේ එකඟතාවකට පැමිණෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
2015 වසරේ සිට මෙම ගිවිසුම අත්සන් කිරීමට දෙරටම උත්සාහ කළ අතර මෙරට පැවැති විවිධ විරෝධතා නිසා එම අත්සන් කිරීම දිගින් දිගටම කල් ගියේය.