ඉන්දීය මාරක වයිරසය පැතිරුණොත් රෝගීන් විශාල ලෙස වැඩිවේවි


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 

(දයාසීලි ලියනගේ)  

ඉන්දීය මාරක කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත වුවහොත් රෝගීන් සංඛ්‍යාව අති විශාල වශයෙන් ඉහළ යාමට ඉඩ ඇතැයි වෛද්‍ය අංශ කියයි.  


එසේ වුවහොත් රෝගීන්ගේ සංකූලතා වැඩිවීමට හේතු වන නිසා රෝහල්වලට සපයන ඔක්සිජන් ප්‍රමාණය හා දැඩි සත්කාර ඒකකවල පහසුකම් වැඩි කිරීමටත්, එන්නත් දීම පුළුල් කිරීමට හා සෞඛ්‍ය උපදෙස් වඩාත් තදින් ක්‍රියාත්මක කිරීමටත් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය. 

ඉන්දීය ප්‍රභේදය ප්‍රචලිත වීම වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගතයුතු වන අතර එසේ නොවුණහොත් රෝගය පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්වීමට ඉඩ ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.  


රෝගීන් සංඛ්‍යාව ඉහළ යන විට මරණ සංඛ්‍යාව ද වැඩිවීම සිදුවන බව ප්‍රකාශ කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා, විශේෂයෙන් අසාධ්‍ය විය හැකි රෝගීන් සඳහා ඔක්සිජන් ඇතුළු ප්‍රතිකාර හා දැඩි සත්කාර ඒකකවල පහසුකම් විශාල වශයෙන් වැඩි කිරීමේ තත්ත්වයක් උදාවීමට ඉඩ ඇතැයි ද කීය.  


මේ තත්ත්වයට මුහුණ දීම සඳහා එන්නත් ලබාදීම පිළිගත් ක්‍රමවේදයකට සිදු කළ යුතු අතර විශේෂයෙන් බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාව ආරක්ෂා විය යුතු බව ද ඔහු කීය.