අජන්ත කුමාර අගලකඩ
මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත් සභාවල එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම මේ වනවිට බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.
පළාත් සභා යටතේ ඇති ආයතනවල සේවකයන්ගේ පඩි නඩි ගෙවීම හැරුණු විට, අනෙකුත් දෛනික කටයුතු පවත්වාගෙන යාමට පවා මුදල් නොමැති වී ඇතැයි පළාත් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.
ඇතැම් පළාත් සභාවල එදිනෙදා කටයුතුවලට අවශ්‍ය ඡායා පිටපත් ගැනීමට කොළ පවා නොමැති තත්ත්වයක් උද්ගතවී ඇතැයි දැනගන්නට ඇත.
බස්නාහිර පළාත් සභාවට ඔවුන්ගේම යම් ප්‍රමාණයක ආදායමක් තිබුණත්, ඌව, උතුරුමැද, උතුර ආදී පළාත් සභාවලට ඔවුන්ගේම ආදායම්මාර්ගයක් නොමැති වීමෙන්, එම පළාත් සභාවල තත්ත්වය ඉතාම දරුණු අතට හැරී ඇතැයිද දැනගන්නට තිබේ.
පළාත් සභාවල නිල කාලය අවසන් වී වසර තුනකටත් අධික කාලයක් ගත වී ඇති අතර, ආණ්ඩුකාරවරුන් යටතේ ඒවා පාලනය වේ.
මේ අතර, පළාත් සභාවල නිල කාලය අවසන් වුවත්, එහි සභාපතිවරයා ඊළඟ සභාව පවත්වන තෙක්ම එම තනතුර දරන අතර, සභාපතිවරුන් හා ඔවුන් යටතේ ඇති කාර්යමණ්ඩල නඩත්තු කිරීම සඳහා විශාල වියදමක් දරන්නට සිදුව ඇතැයි වාර්තා වේ.
මේ අතර, පළාත් සභාවෙන් කරන ලද විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීමට ඇති කෝටි ගණනක හිඟ බිල්පත් ගොඩගැසී ඇතැයි දැනගන්නට තිබේ.