එන්නත්කරණ ක්‍රියාවලිය දුර්වලයි


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපතිට කියයි  

(දයාසීලි ලියනගේ)   

කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්දේශ ​නොසලකා හරිමින් මෙරට එන්නත් ලබාදීම සිදු වන බව වාර්තා වේ.   

මරණ සංඛ්‍යාව අඩුකර ගැනීම, අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව අඩුකර ගැනීම හා රෝහල්ගතවීම අඩුකර ගැනීම සඳහා වන උපාය මාර්ගයක් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තරයේ පෙන්වා දී ඇතත් එම නිර්දේශ ක්‍රියාත්මක නොවීම කොවිඩ් වසංගතය මර්දනය කිරීමට බලවත් තර්ජනයක් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකදී පෙන්වා දුන් බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කීය.   
දැනට මේ රටේ එන්නත් ලබාදීමේදී රෝගය මතුවන ස්ථානවලට මුල්තැනක් නොදීම දේශපාලන මැදිහත්වීම සිදුවීම බෝ නොවන රෝග ඇති අයට ප්‍රමුඛතාවය ලබා නොදීම වැනි හේතු මත එන්නත් ලබාදීමේ ඵලදායිතාවය අඩු වී ඇති බවද මෙම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.   


කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා රටේ ජනතාවගෙන් සියයට 70කටවත් එන්නත් ලබාදිය යුතුව ඇති බවද මෙහිදී පෙන්වා දුන් බව වෛද්‍ය පාදෙණිය මහතා කීය.