ඖෂධ හිඟයෙන් රෝහල් “දැඩි ආපද‌ාවක”


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

දැනට රෝහල්වල පවතින ඖෂධ හිඟය හමුවේ වහාම ආපදා තත්ත්වයක් නම් කොට මානුෂීය ආධාර ලබා ගැනීමේ වැඩ පිළිවෙළකට යා යුතු බව වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය රජයට යෝජනා කර තිබේ.  

දැනට පවතින ඖෂධ හිඟය හමුවේ ජීවත් කරවන්නට පුළුවන් රෝගීන් මේ මොහොතේ මිය යාමේ අවදානමක් පවතින බව එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය. පවතින ඖෂධ හිඟය හමුවේ ප්‍රතිකාර කෙරෙන්නේ අවශ්‍ය ප්‍රතිකාර වෙනුවට පුළුවන් ප්‍රතිකාර පමණක් බව ද ඔහු සඳහන් කළේය.  
අවශ්‍ය ප්‍රතිකාරය සහ පුළුවන් ප්‍රතිකාර අතර පරතරය සමහර විට මරණය හෝ මරණාසන්න සංකූලතාවයක් වීමට ඉඩ තිබේ.  


මෙය රටක් ලෙස අතිශය භයානක තත්ත්වයක් බව ද ඔහු පෙන්වා දෙයි.  


ඇතැම් සුවිශේෂි ඖෂධ නොලැබෙන තත්ත්වයක් හමුවේ ආපදා තත්ත්වයක් ප්‍රකාශ කොට මානුෂීය ආධාර ලබා ගැනීමේ වැඩ පිළිවෙළකට වහාම යා යුතු බවට රජයට යෝජනා කරන බව ද රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.