කැලණිය සරසවියේ නේවාසිකාගාර ගින්න ගැන පුළුල් පරීක්ෂණ


සජිනි ගුරුගේ / ඉමේෂි මන්දිරා 

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි සිව් වැනි වසර ජයතිලක කාන්තා නේවාසිකාගාරයේ සිව්වන මහලේ කාමරයක හටගත් ගින්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, එම ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇති බවත් එම විශ්වවිද්‍යාලය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ කසුන් ප්‍රනාන්දු ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි සැක කෙරෙන නමුත්, නිශ්චිත හේතුව රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුව තහවුරු වනු ඇති බවයි.

මෙම ගින්නෙන් අදාළ කාමරයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී තෙවැනි මහලේ ද ගැටලු කිහිපයක් හඳුනාගෙන ඇති බව කී ඔහු ගින්නෙන් කිසිදු ශිෂ්‍යාවකට හානියක් සිදුව නොමැති බවත් අදාළ නේවාසිකාගාරයේ සිටි පීඨ දෙකකට අයත් සිසුවියන් තාවකාලිකව වෙනත් ස්ථානයකට යොමු කර ඔවුන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශන පැවැත්වීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති බවත් සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය පරීක්ෂණ පවත්වන අතරතුර, විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, නේවාසිකාගාර පාලිකාවන් සහ ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කර තිබේ. එම කමිටුව දින කිහිපයක් රැස්වී සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, එම වාර්තාව ලැබීමට නියමිත බව ද හේ ප්‍රකාශ කළේ ය.

දේපළ හානි සිදුවූ සහ මානසික පීඩාවට පත්වූ සිසුවියන්ට අවශ්‍ය සහාය සහ උපදේශනය ලබාදීමට ශිෂ්‍ය කටයුතු උපදේශකවරුන් යොමු කර ඇති බව ද ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. 

සති දෙකක කාලයක් සඳහා නේවාසිකාගාරය වසා තැබීමට මුලින් සැලසුම් කළ ද, සිසුවියන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කොට සලකමින් සියලු අලුත්වැඩියා සහ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් එම කාලය තවදුරටත් දීර්ඝ විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ හටගත් ගින්නෙන් පසු එහි නේවාසිකව සිටි ශිෂ්‍යාවන් පිරිසකට තාවකාලිකව වෙනත් ස්ථානවල නේවාසික පහසුකම් ලබා දී තිබුණද, තවත් ශිෂ්‍යාවන් කණ්ඩායමක් නේවාසිකාගාර පහසුකම් නොමැතිව සිය නිවෙස් වෙත ගොස් සිටීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

ගින්නෙන් පීඩාවට පත්වීම නිසා දැනට නිවෙස්වල රැඳීසිටින ශිෂ්‍යාවන් අතර සිය උපාධි පාඨමාලාවේ අනිවාර්ය අංගයක් වන සීමාවාසික පුහුණුව (Internship) සඳහා සහභාගී වෙමින් සිටි සිසුවියන් පිරිසක් ද සිටිති. 

මීට අමතරව, අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ගේ උපාධි නිබන්ධනවලට අදාළ කටයුතු ද මේ හේතුවෙන් මුළුමනින්ම පාහේ ඇණහිට තිබේ. 

එබැවින් මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ඔවුහු ඉල්ලා සිටිති.