(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් එම ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් යනු රට නියෝජනය කරන ආයතනයක් විනා පෞද්ගලික දේපළක් නොවන බව සිතා කටයුතු කරන්නැයි කෝප් කාරක සභාව එහි ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
ආයතනයේ ක්‍රියාකාරකම්වලට අදාළ තොරතුරු ලබාදෙන්නැයි විගණන කාර්යාලය ඉල්ලීම් කර ඇතත් ඒවාට පිළිතුරු නිසි අයුරින් සපයා නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝප් කමිටුව එම ආයතනයට බලවත් අප්‍රසාදය පළ කර ඇත.
විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව කාරක සභාව කළ විමසුම්වලදී නිලධාරීන් පරස්පර විරෝධී තොරතරු සහ අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුව එහි ප්‍රධානීන්ට අප්‍රසාදය පළ කළේය.
මේ අතර රුපියල් දෙකෝටි හැට ලක්ෂයකට වැඩි වටිනා ව්‍යාපෘති හතරක් අතහැර දමා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.
එම වියදම් 2020 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශවල කෙරීගෙන යන වැඩ ලෙස දක්වා ඇතැයි කෝප් කමිටුව පවසයි. දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගයේ රූපවාහිනී විකාශයට අදාළව (2018) රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බැංකු ගිණුමට නොව වෙනත් බැංකු ගිණුමකට හරවා යැවීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාව කරුණු විමසා ඇත.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තා කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද කාරක සභාව නිරීක්ෂණය කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේය.
කෝප් කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.