කැඩුණු මාර්ග හැදීම ප්‍රාදේශීය සභා ආදායමින්


දයාසීලි ලියනගේ   

සෑම පළාත් පාලන ආයතනයකම හානියට පත් මාර්ග පිළිසකර කිරීම සඳහා එම ආයතන රැස් කරන ආදායම් උපයෝගී කර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා විසින් පළාත් ප්‍රධාන ලේකම්වරයාට නියම කරනු ලැබ ඇත. 

දැනට ඇති වී තිබෙන මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මධ්‍යම රජයෙන් පළාත් පාලන ආයතනවලට මුදල් ලබා දීම සීමා කිරීමට සිදු වී ඇති නිසා පළාත් පාලන ආයතන උපයා ගන්නා මුදල් වර්ෂාවෙන් හා ජල ගැලීම්වලින් හානියට පත් මාර්ග පිළිසකර කර ගැනීමට යොදා ගන්නා ලෙසට ද ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් උපදෙස් දී ඇත.   


පළාත් පාලන ආයතන විසින් පොදු මහජනතාව වෙත සපයන සේවා වෙනුවෙන් බදු මුදල්, බලපත්‍ර ගාස්තු හා වරිපනම් වැනි අයකිරීම් සිදුකරන බැවින් එසේ රැස් කරනු ලබන ආදායම් මේ සඳහා උපයෝගී කර ගන්නා ලෙසට දන්වා ඇත.   


පළාත් පාලන ආයතන අරමුදල් හා පළාත් සභා අරමුදල් යොදවා පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය පොදු පහසුකම් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාමට සුදුසු පියවර ගන්නා ලෙසට ද සඳහන් කර ඇත.