12ක් බලා සිටියාට ලැබෙන්නේ 8 යි
අජන්ත කුමාර අගලකඩ
කැබිනට් ඇමති ධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් මීට සති ගණනාවකට පෙර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවනු ලැබූ අතර, මෙතෙක් තනතුරු නොලැබීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දැඩි කනස්සල්ලෙන් පසුවන බව දැනගන්නට ඇත.
කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් තිස්දෙනාගෙන් 18 දෙනකු දැනටමත් පත්කර ඇති අතර, තවත් පත් කිරීමට ඉතිරිව ඇත්තේ දොළොස් දෙනෙකි.
පොදුජන පෙරමුණෙන් ඒ සඳහා මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් යවා ඇතත්, අනෙකුත් පක්ෂවලටද අමාත්‍ය ධුර කිහිපයක් දීමට සිදුවන නිසා, එය අටක් පමණ දක්වා අඩු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.
අනෙකුත් පක්ෂ නියෝජනය කරන ඒ.එල්.එම්. අතාවුල්ලා, ජීවන් තොන්ඩමන්, වජිර අබේවර්ධන සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ටද කැබිනට් ඇමැති ධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව කැබිනට් ඇමැතිවරුන් පත් කරනු ඇතැයි ද වාර්තා වේ.