(මහින්ද නිශ්ශංක)
කිරිපිටි මිල වැඩි කිරීම සඳහා ආනයනික කිරිපිටි සමාගම් කර තිබෙන ඉල්ලීමට පාරිභෝගික අධිකාරියෙන් යහපත් ප්රතිචාරයක් නොලැබුණොත් ඉදිරියේදී වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි හිඟයක් ඇති විය හැකි බවට සමාගම් පවසයි.
කිරිපිටි මිල විශාල වශයෙන් වැඩි වෙමින් තිබීම හේතුවෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 350කින් ද ග්රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 140කින් ද වැඩි කිරීමට ආනයනික කිරිපිටි සමාගම් පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ඉල්ලා ඇත.
ලෝක වෙළෙඳපොළේ ඉකුත් ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් 3200 හා 330ත් අතර පැවති කිරිපිටි මෙට්රික් ටොන් එකක මිල පසුගිය මැයි මාසය වනවිට ඇමෙරිකානු ඩොලර් 4300 හා 4350 අතර සියයට 35කින් පමණ ඉහළ ගොස් අැති බවත් මේ තත්ත්වය මත දැනට පවතින මිලට කිරිපිටි අලෙවි කළ නොහැකි බව ද කියා සිටී. දැනටමත් ඇතැම් සමාගම් අලුතින් තොග ඇණවුම් කිරීම නතර කර ඇති අතර තවත් සමාගම් කිරිපිටි ආනයනය සියයට 30කින් පමණ අඩු කර ඇති බව ද සඳහන් වන අතර මේ තත්ත්වය නිසා වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇති වන බව ද ඔවුහු පවසති.