කොතලාවල පනතට ආණ්ඩුවේ මත ගැටුමක්


(අජන්ත කුමාර අගලකඩ) 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. 


එම පනත් කෙටුම්පතේ තිබෙන ඇතැම් වගන්ති සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක්ම රජයට දැනුම් දී ඇත.

මෙම පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන, සංශෝධන සහිතව සම්මත කරගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත. 


 මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කමිටුවක් ද පත් කරනු ලැබ ඇති අතර, එම කමිටුව සකස් කළ වාර්තාව සඳුදා (02) පක්ෂයට බාරදීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඇමැති මහින්ද අමරවීර මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය 


 දැනට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ සිදු විය යුතු සංශෝධන සම්බන්ධයෙන් තම පක්ෂයේ අදහස ඉදිරි දින කිහිපයේ දී රජයට ලබාදෙන බව ද ඔහු සඳහන් කළේය 


 මේ අතර, මෙම පනත් කෙටුම්පතට විරුද්ධ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැනටමත් ප්‍රකාශ කර ඇත. 


 හමුදාව මගින් පාලනය වන සමාන්තර අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීමට තම පක්ෂය එකඟ නොවන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය. 


 මෙම පනත සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් සමසමාජ පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බව ද ඔහු සඳහන් කළේය.