කොරෝනා මර්දනයට ආණ්ඩුව ඩොලර් කෝටි 8 ක ණයක් ඉල්ලයි


(අජන්ත කුමාර අගලකඩ)  

මෙරට කොරෝනා මර්දනය සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි අටක (ඇමෙරිකානු ඩොලර් මිලියන 80.51 ක) ණය මුදලක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.  

මෙරට කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන සහ සෞඛ්‍ය අංශ සූද‌ානම් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම ණය මුදල ලබා ගැනේ.  


 ලෝක බැංකු සමූහයට අයත් ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව සහ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය යන ආයතන දෙකෙන් මෙම ණය මුදල් ලබා ගැනේ.  


ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් 5.4 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන පනස් හතරක්) ලබා ගැනීමට නියමිත අතර ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 2.6 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 26.51 ක) ණය මුදලක් ලබා ගැනෙනු ඇත.  


 ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ලබා ගැනීමට නියමිත ණය මුදල වසර 5 ක සහන කාලයක් සහිතව වසර 30 කින් ගෙවිය යුතු වන අතර ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුවෙන් ලබා ගැනෙන ණය මුදල වසර 5 ක සහන කාලයක් සහිතව වසර 18 කින් ගෙවිය යුතු වේ.  


කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට ජනගහනයෙන් අවම වශයෙන් සියයට හැටකට එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇත.