කොළඹ ඉඳන් ගමේ පදිංචියට යන පිරිස වැඩි වෙලා


ජීවත් වෙන්න අමාරුයි 

 

සුජිත් හේවාජුලිගේ

අධික ආහාර උද්ධමනය නිසා කොළඹ ඇතුළු ඒ අවට තදාසන්න ප්‍රදේශවල ජීවත්වීමේ අපහසුතාව හේතුවෙන් යම් යම් පිරිස් පිට පළාත්වලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව පළාත් පාලන ආයතන ආරංචිමාර්ගවලින් පැවසේ. 

එසේම සමහරුන් පිට පළාත්වලින් ඉඩම් මිලදී ගෙන වගා කටයුතු සඳහා පෙළඹී සිටින බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.  


මෙසේ පිට පළාත්වලට සංක්‍රමණය වන පිරිසෙන් වැඩි දෙනෙක් නාගරික ප්‍රදේශයන්හි වගා කටයුතු සඳහා ඉඩකඩ නොමැති ඉඩකඩම්වල පදිංචිව සිටින අය වෙති. සමහරුන් මෙසේ පිටව ගොස් ඇත්තේ කොළඹ තම නිවාස කුලියට ලබාදීමෙන් පසුවය.  


මේ අතර කොළඹ ආහාර උද්ධමනය සියයට 70 දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වේ. 


දර කෑල්ලේ සිට සෑම දෙයක්ම වෙ​ෙළඳපොළෙන්  මිලදී ගැනීමට සිදුව ඇති හෙයින් කොළඹ ජීවත්වීම ඉතා දුෂ්කර බව පිට පළාත්වලට සංක්‍රමණය වූ පිරිසක් පැවසූහ. 
විශේෂයෙන්ම මහල් නිවාසවල ජීවත් වන පිරිස්වලට මේ ප්‍රශ්නය දැඩිව බලපා ඇතැයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.