සොයන්න පුළුල් විමර්ශනයක්
සුජිත් හේවාජුලිගේ
අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලින් පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ 1000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ඒ භාණ්ඩ සොයා ගැනීම සඳහා විශේෂ විමර්ශන අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
ඇතැම් පුද්ගලයන් මේ ස්ථානවල පෞරාණික භාණ්ඩවල යම් යම් කොටස් සඟවාගෙන රැගෙන ගොස් ඇති බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු අනාවරණය වී ඇත.
මේ අතර ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණ ද එහි පුරාවස්තු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත වාර්තාගත තොරතුරු කිසිවක් නැතැයි වාර්තා වේ.
විනාශ වූ සහ අස්ථානගත වූ පුරාවස්තු පිළිබඳව නිශ්චිත සහ පැහැදිලි තොරතුරක් ලබාගැනීම මේ හේතුවෙන් දුෂ්කර වනු ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ජනාධිපති මන්දිරය කාලයක් තිස්සේ අධි ආරක්ෂිත විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන ගොස් තිබූ හෙයින් එම ස්ථානයට පැමිණ තොරතුරු එක්රැස් කර ගැනීමේ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එවැනි තොරතුරු එක්රැස් කිරීමක් සිදුවී නැතැයි දැනගන්නට ඇත.
එහෙත් ජනාධිපති මන්දිරයේ පෞරාණික වටිනාකම් සහිත භාණ්ඩ රැසක් තිබූ බව පුරාවිද්‍යා නිලධාරීහු පිළිගනිති.
ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලට අරගලකරුවන් මුවාවෙන් විවිධ සංවිධානාත්මක පිරිස් ද (කුඩුකාරයන්) රිංගා ඇති බවත් මේ සොරකම් වැඩි වශයෙන් කර ඇත්තේ එම පිරිස් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ. මේ අතර අරගලයට මුවාවී රජයේ ස්ථාන අත්පත් කරගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත.
අගමැති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් අතට පත්ව තිබූ සෙසු ස්ථාන වේ.
මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා ශ්‍යාමලී රාජපක්ෂ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ ජනාධිපති මන්දිරය හැරුණු කල අරගලකරුවන් අතට පත්ව තිබූ අනෙකුත් ස්ථාන පුරාවිද්‍යා ස්ථාන හැටියට ගැසට් කර නැති බවයි.
එම ස්ථාන ද පුරාවිද්‍යා ස්ථාන හැටියට ගැසට් කිරීමට කටයුතු කරගෙන යන බවද ඇය සඳහන් කළාය.
ජනාධිපති මන්දිරයේ ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවත් ලබන සතියේ සාකච්ඡාවක් පවත්වා ඉදිරි විමර්ශන කටයුතු තීරණය කරන බවත් ශ්‍යාමලී රාජපක්ෂ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ ජනාධිපති මන්දිරය ඇතුළු ස්ථානවලට සිදුවූ හානි කිරීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට වෙනම කණ්ඩායමක් පත්කර ඇති බවයි.
කොළඹ ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ ලන්දේසි පාලන සමයේදීය.