වැය කළ මුදල් වතුරේ යයි
නිමන්ති රණසිංහ
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට රාජ්ය සහ අර්ධ රාජ්ය ආයතන පසුගිය වසර හතරක කාල සීමාවේදී පිරිනමන ලද රුපියල් කෝටි අසූ හතරකට වැඩි වටිනා ඉදිකිරීම් කොන්ත්රාත්තු 37 ක් අතරමග නවතා දැමීම හේතුවෙන් එම කොන්ත්රාත් සඳහා යෙදවුණු මුදලින් නිසි ඵලයක් නොලැබුණු බව නිරීක්ෂණය වූයේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
කොන්ත්රාත්තු 37 ක් මෙසේ අතරමග නවතා දැමීම නිසා රාජ්ය අංශයේ කටයුතු බරපතළ පසුබෑමකට ලක්වූ බව එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. රාජ්ය සහ අර්ධ රාජ්ය ආයතන ගොඩනැගිලි දෙපාර්තමේන්තුව කෙරෙහි විශ්වාසය තබමින් ඉදිකිරීම් කොන්ත්රාත්තු පිරිනමනු ලබන බවත් ඒ කොන්ත්රාත්තු වෙනුවෙන් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව කළමනාකරණ ගාස්තුවක් ද අයකර ගන්නා බවත් වාර්තාවේ සඳහන් කරයි.
මේ ආකාරයට ඉදිකිරීම් කොන්ත්රාත් අතරමග නවතා දමා උප කොන්ත්රාත්කරුවන් දෝෂ දර්ශනයට ලක්කර ඇතත් කොන්ත්රාත්තු සම්බන්ධයෙන් එම ආයතනයට පැවරී ඇති වගකීමෙන් කිසිසේත්ම නිදහස් විය නොහැකි බව විගණන නිලධාරිහු පෙන්වා දෙති.