කෝප් ඇතුළු මැතිසබේ කමිටු පහක මුල්පුටුවල වෙනසක්


(සුජිත් හේවාජුලිගේ)   

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) සහ මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා පහක මුල් පුටු ළඟදීම වෙනස් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.  

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය හොබවනු ලැබු​වේ මහාචාර්ය චරිත හේරත් මහතා විසිනි. රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය මහාචාර්ය තිස්ස විතාරණ මහතා හෙබවූ අතර මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය හෙබවනු ලැබුවේ නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසිනි.   


මාලබේ උසස් තාක්ෂණ ආයතනය (ස්ලිට්), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සංචාරක සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප්, කෝපා ඇතුළු කමිටු විසින් වැදගත් තොරතුරු රැසක් පසුගිය කාලයේදී අනාවරණය කර ගනු ලැබූ අතර මෙම ඇතැම් විමර්ශන සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන්ම විවිධ චෝදනා එල්ල වනු අසන්නට ලැබිණ.   


ඇතැම් ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් සහ කෝපා කමිටු විසින් වෙනම වාර්තා ද පාර්ලිමේන්තුවට මෑත භාගයේදී ඉදිරිපත් කරනු ලැබීය.   


නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අවසන් කරනු ලැබූ අතර පාර්ලිමේන්තුවේ කමිටු කීපයක් හැරෙන්නට කමිටු හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මේ සමග අහෝසි වී ගියේය.   


කෝප් සහ කෝපා කමිටුවලට පසුගිය කාලයේ බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 20ක පමණ ප්‍රධානීන් කැඳවීමට නියමිතව තිබූ අතර එම කටයුතු ද කමිටු අහෝසිවීමත් සමග ප්‍රමාද වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.   


අහෝසි වී ගිය මෙම කමිටු නැවත පිහිටුවිය හැක්කේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමෙන් පසුවය. මුලින්ම තේරීම් කාරක සභාව (committee of selection) පත්කරනු ලැබිය යුතු වන අතර පාර්ලිමේන්තු කමිටුවලට පත් කිරීම සඳහා සාමාජිකයන් යෝජනා කරනු ලබන්නේ එම තේරීම් කාරක සභාව විසිනි.   


පාර්ලිමේන්තුවේ සැසිවාරය ජනාධිපතිවරයා විසින් අවසන් කරනු ලැබීමත් සමග කමිටු රැසක කටයුතු අහෝසි වී ඒවා නැවත පත් කිරීමට සිදුවීම නිසා එම කමිටුවල වැඩ කටයුතුවලට එහිදී බාධා මතුවන බව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ හිටපු සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.   


ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබුණ ද සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමද ගැටලු සහගත බව හෙතෙම සඳහන් කළේය.