ගුවන් යානයේ ප්‍රශ්නය: රුසියා - ලංකා හොඳහිත බිඳින වෑයමක්දැයි සැකයක්


දයාසීලි ලියනගේ

රුසියානු එරොෆ්ලොට් ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේ රඳවා ගැනීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කිරීමේ සිද්ධියත් සමග ශ්‍රී ලංකාව හා රුසියාව අතර හොඳහිත පළුදු කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූවාද යන සැකයක් පවතින බව සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ සඳහන් කරති. 

රුසියාව ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමට එකඟවීම හා සංචාරකයන්ගේ පැමිණීම යන කරුණුවලට මේ සිද්ධියෙන් බලපෑම් ඇතිවිය හැකි බවද ඔවුහු සඳහන් කරති. මෙම තහනමත් සමඟ රුසියානු ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානා මෙරටට පැමිණීම දැනටමත් අත්හිටුවා තිබෙන බව ගුවන් තොටුපොළ ආරංචිමාර්ග වාර්තා කරයි. මීට අමතරව භූමි මෙහෙයුම්වලින් මෙරට ගුවන් සේවා ආදායමට ඩොලර් 15,000ක පමණ අලාභයක් සිදුවන බවද සඳහන් වේ.   


මෙම ගුවන් යානය පසුගිය 2 වැනිදා උදේ 10.00ට මොස්කව් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ දහවල් 12.50ට පමණ යළි රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ අවස්ථාවේ ලැබුණ තහනම් නියෝගයත් සමඟ ආපසු ගුවන් ගතවීම අවලංගු කෙරිණි. සිකුරාදා දහවල් වෙද්දීත් යානය කටුනායක ගුවන්තොටුපොළේ නවතා තිබිණි.   


ගුවන් යානා බදු දෙන යුරෝපීය සමාගම් කීපයක් විසින් රුසියානු ජාතික ගුවන් සේවයට බදු දුන් ගුවන් යානා නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කර ඇති අධිකරණමය ක්‍රියාමාර්ගයක් මත පදනම්ව මෙම නියෝගය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.