චිත්‍රපට සංස්ථාවට කෝටි 50ක ලොකු පොල්ලක්


සුජිත් හේවාජුලිගේ

ජාතික චිත්‍රපට සංස්ථාව විවිධ පුද්ගලයන්ට ලබා දී ඇති රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. 

මෙසේ ගෙවීම් පැහැර හැර ඇතැයි පැවසෙන්නේ චිත්‍රපටි නිෂ්පාදනය සඳහා ලබාදී ඇති ණය මුදලින් රුපියල් කෝටි නව ලක්ෂයක් සහ සිනමා ශාලා හිමියන්ට ලබා දී ඇති රුපියල් කෝටි 39ක පමණ ණය මුදලකි.   
මේ සම්බන්ධයෙන් වහාම තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.   


මේ අතර කැලණිය සරසවි චිත්‍රාගාරය වැඩි දියුණු කිරීම සඳහා සහ ජාතික පුහුණු පාසලක් පිහිටුවීම සඳහා රුපියල් කෝටි පහක මුදලක් වෙන් කර තිබුණද එම ව්‍යාපෘතියේ වැඩ මෙතෙක් නිම නොවීම සම්බන්ධයෙන් එම කාරක සභාව චිත්‍රපටි සංස්ථා ප්‍රධානීන්ගෙන් දැඩිව ප්‍රශ්න කර ඇත.   


ජනාධිපති සිනමා සම්මාන උළෙල (2017) සඳහා රුපියල් ලක්ෂ 40ක පමණ වියදමක් දරා තිබුණ ද ගෙවීම් කිරීමේ දී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව කටයුතු නොකිරීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළවී ඇත.   


මේ සම්බන්ධයෙන් ද කෝප් කමිටුව එම ආයතනයෙන් වාර්තාවක් කැඳවා ඇත.