(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙෙළඳ ගිවිසුමක් අස්සන් කිරීම සඳහා චීනය ශ්‍රී ලංකා රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව, දෙරට අතර නිදහස් වෙෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.
මේ අතර, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීන තානාපතිවරයා පෙරේදා (18) හමුවීමට නියමිතව සිටියේය .
දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන යෝජනාව ගැන කළ විමසීමේ දී විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සඳහන් කළේ එවැනි යෝජනාවක් මේ වන විට ඉදිරිපත් වී ඇති බවය.
මෙරට ව්‍යාපාරික ප්‍රජාව, කර්මාන්තකරුවන් ඇතුළු පාර්ශ්ව සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීනය සමඟ එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව විදේශ ඇමතිවරයා කීවේය.
මේ අතර රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා චීනය, ජපානය සහ මැදපෙරදිග රටවල් සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන්ගෙන් යුත් කමිටු තුනක් පත් කරනු ලැබ ඇති අතර, එහි සභාපතිවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කටයුතු කරයි.
චීනය සමග සාකච්ඡා කිරීමට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට අමතරව, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ද, ජපානය සමග සාකච්ඡා කිරීමට ඩලස් අලහප්පෙරුම, වෛද්‍ය රමේෂ් පතිරණ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ද, මැදපෙරදිග රටවල් සමඟ සාකච්ඡා කිරීමට නාමල් රාජපක්ෂ සහ අලි සබ්රි යන මහත්වරුද පත් කරනු ලැබ සිටිති.
චීන රජයෙන් ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා නිෂ්පාදන කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සම්බන්ධයෙන් ද, මැදපෙරදිග රටවලින් ඉන්ධන සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සම්බන්ධයෙන් ද, ජපානයෙන් මුල්‍යමය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරගෙන යන බව එම කමිටුවේ සභාපති මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළේය.