රැස්වීම් ගණනාවක් අවලංගුයි
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මේ දිනවල උත්සව, රැස්වීම්, මහජන හමුවීම් ආදියට සහභාගි වීම මග හරිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෑස්, ඉන්ධන, විදුලිය අර්බුදය හේතුවෙන්, මහජන විරෝධයක් එල්ල විය හැකි බැවින්, ඔවුන් මෙසේ උත්සව, රැස්වීම් ආදියට සහභාගිවීමෙන් වැළකී සිටින බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.
මැති ඇමතිවරුන් සහභාගිවීමට නියමිතව සිටි උත්සව, රැස්වීම් ගණනාවක් ගිය සතියේ ද අවලංගු කර ඇතැයි වාර්තා වේ.
බදුල්ල, මාතලේ, මොනරාගල හම්බන්තොට ආදී ප්රදේශ කිහිපයක ඉකුත් සතියේ පැවැත්වීමට සූදානම් කර තිබූ උත්සව ගණනාවකටම මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සහභාගිවීමට නියමිතව සිටියත් ඔවුන් අවසන් මොහොතේ ඒවාට සහභාගි වී නැති බවත් මේ හේතුවෙන් ඇතැම් උත්සව අවලංගු කිරීමට පවා සිදු වූ බවත් දැනගන්නට ඇත.
ගෑස් හිඟය, ඉන්ධන හිඟය මෙන්ම විදුලි අර්බුදය හේතුවෙන් මහජනතාවගෙන් බරපතළ විරෝධයක් ආණ්ඩුවට එල්ල වී ඇති අතර, උත්සවවලට සහභාගිවීමේදී ඔවුන්ට ද ඒවාට පෞද්ගලිකව මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි යන අදහසින් මැති ඇමැතිවරුන් ඒවාට සම්බන්ධ නොවන බවද දැනගන්නට ඇත.
මේ අතර, ඇතැම් මැති ඇමැතිවරුන් ආණ්ඩුව වෙනුවෙන් රූපවාහිනී සංවාද සාකච්ඡා ආදියට සහභාගි වීම ද මග හරිමින් සිටින බව වාර්තා වේ. රූපවාහිනී සංවාද, සාකච්ඡාවලට සහභාගි වී කියන්නට දෙයක් නොමැති යැයි පවසමින් ඔවුන් මෙසේ ඒවා මග හරිමින් සිටින බව ද දැනගන්නට ඇත.
මේ අතර, ආණ්ඩුවෙන් පැවැත්වීමට නියමිත මැයි දින උත්සවය සම්බන්ධයෙන් දිස්ත්රික් මට්ටමින් පැවැත්වෙන මූලික සාකච්ඡාවලට ද ඇතැම් මැති ඇමැතිවරුන් සහභාගි වී නැති බව වාර්තා වේ.