දේශපාලනයට සම්බන්ධ පිරිසකටත් චෝදනා
ලිපිගොනු නීතිපතිට
සුජිත් හේවාජුලිගේ
ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙම ජල පාරිභෝගිකයන් ලබාගත් ජලය වෙනුවෙන් ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි දහයකට ආසන්නය. ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙම පිරිසට දේශපාලනයට සම්බන්ධ පිරිස්, රාජ්‍ය ආයතන, ව්‍යාපාර ස්ථාන, ආගමික ස්ථාන හා විවිධ පුද්ගලයෝ ඇතුළත් වෙති.
ලක්ෂ පහ හය වටිනා බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ද මේ පිරිස අතර වෙතියි මණ්ඩලය සඳහන් කරයි. මේ අයගේ ජල සැපයුම් දැනටමත් විසන්ධි කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (අයකිරීම්) වීරසිංහ ඒකනායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙම පුද්ගලයන්ට විරුද්ධව නුදුරේදීම නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවයි.
මේ අතර ජල බිල්පත් ගෙවීම පසුගිය මාස දෙකේදී
බෙහෙවින් අඩුවී ඇතැයි මණ්ඩලය පවසයි. ජල බිල සියයට 70 කින් වැඩි කිරීමත් සමග මේ තත්වය උදා වී ඇති බවත් මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යෑම මේනිසා දුෂ්කර වී ඇති බවත් එහි නිලධාරීහු පෙන්වා දෙති.