(මුදිතා දයානන්ද)
‘74 වසර ශාපය නිමා කරමු, ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු.’ තේමාව යටතේ ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා රැලිය නුගේගොඩ දී ඉකුත්දා පැවැත්විණි.
විරෝධතාකරුවෝ දෙල්කඳ මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ මංසන්ධිය, ස්ටැන්ලි තිලකරත්න මාවත ඔස්සේ පෙළපාළියෙන් පැමිණ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය දක්වා ගමන් කළහ.
‘ඉන්ධන මිල අහස උසට, තෙල් පෝලිම ඇදෙයි දිගට, ලයිට් නැතේ තෙලුත් නැතේ, ගෑස් නැතේ, පිටි නැතේ, මීට වඩා ඉවසනු බැහැ, රට හදන්න වරෙව් පුතේ’ යනාදී සටන් පාඨ කියමින් විරෝධතා පෙළපාළියෙන් ගමන් කරනු දක්නට ලැබිණි.
විරෝධතා පෙළපාළිය හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ පැය දෙකකට ආසන්න කාලයක් දැඩි රථවාහන තදබදයක් පැවතිණි.
ජන රැලියට පැමිණි ජනතාවගෙන් නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ සිට කෝට්ටේ පාර නාවල පාර දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වැසීගිය අතර රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නට සිදුවී තිබිණි.
මෙම පෙළපාළියට හා රැලියට ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.